Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ඊ ටී අයි ෆිනෑන්ස් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනය සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණ මහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී යන ආයතනවල පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසිධන මට්ටම දීර්ඝ වශයෙන් සලකා බැලූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2018.01.01 දින පැවැති රැස්වීමේ දී එම ආයතන දෙකේ තැන්පත්කරුවන්ගේ හා අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ඹිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව සහ ශක්තිමත්භාවය තහවුරු කර ගැනීම සඳහාත් කෙටිකාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ පහත ක්‍රියාමාර්ග වහා ම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කරන ලදි.

  1. අදාළ ආයතන දෙකේ කළමනාකරණ කටයුතු කර ගෙන යෑම සඳහා මණ්ඩලයක් පත් කිරීම
  2. කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කරමින් එම තැන්පතු මාස 6ක කාලයක් දක්වා දීර්ඝ කිරීම
  3. තැන්පතු සඳහා ගෙවිය යුතු පොලිය එකඟ වූ කොන්දේසිවලට අනුව සිදු කිරීම

මෙම කාලය අතරතුර අදාළ ආයතන තම ආයෝජකයින් සමඟ පවත්වා ගෙන යනු ලබන සාකච්ඡා නිම කළ හැකි අතර අදාළ නීති හා රෙගුලාසිවලට යටත් ව සුදුසු ආයෝජකයින් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව අවශ්‍ය පහසුකම් සපයනු ඇත. 

සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද සහ වෙනස් කරන ලද ශ්‍රී ලංක‍‍ා ව්‍යවහාර මුදල් නෝට්ටු

සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා වෙනස් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කිරීමේ දී මහජනතාව මුහුණ දෙනු ලබන අපහසුතා මෙන් ම අති විශාල මහජන ඉල්ලීම් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් එ වැනි ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කර ගැනීමේ කාල සීමාව 2018 මාර්තු 31 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සිතාමතා විකෘති කිරීම, හානි කිරීම හෝ වෙනස් කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ දඩ මුදලකට යටත් කිරීම හෝ සිරගත කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදකි. මුදල් නීති පනතේ රෙගුලාසි (ඊ) යටතේ සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හෝ වෙනස් කරන ලද නෝට්ටු සඳහා කිසිදු හිමිකම් පෑමක් නො ලබන අතර එ වැනි නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රඳවා ගනු ලැබේ.

ඒ අනුව, මෙ වැනි මුදල් නෝට්ටු අත දරන්නා හට 2018 අප්‍රේල් 01 සිට එම නෝට්ටුවල මුහුණත වටිනාකමෙහි අලාභය දරා ගැනීමට සිදු වේ.

2017 ඔක්තෝබර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළෙඳ හිඟයේ සැලකිය යුතු අඩු වීම සහ ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ අඛණ්ඩ ලැබීම් හේතුවෙන් 2017 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේ ය. 2017 වසරේ ඔක්තෝබර් මාසයේ දී වෙළෙඳ හිඟය වාර්ෂික පදනම මත සැලකිය යුතු ලෙස අඩු වීම සඳහා අපනයන ආදායම අඛණ්ඩ ව සිව් වැනි මාසයට ද ඉලක්කම් දෙකක අගයකින් වර්ධනය වී ඉහළ මට්ටමක පැවතීම සහ ආනයන වියදම අඩු වීම හේතු විය. කෙ සේ වුව ද, සංචාරක ඉපැයීම් මධ්‍යස්ථ ලෙස වර්ධනය වූ අතර මැද පෙරදිග කලාපයේ පවතින අහිතකර ආර්ථික හා භූ දේශපාලනික තත්ත්ව හේතුවෙන් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ තවදුරටත් අඩු විය. ඔක්තෝබර් මාසය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශ ආයෝජන සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ විදේශ ආයෝජන ඉහළ යෑම මධ්‍යයේ ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් අඛණ්ඩ ව පැවැතුණි. මෙම වර්ධන පෙන්නුම් කරමින් 2017 වසරේ ඔක්තෝබර් මාසය අවසාන වන විට ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය එක්සත් ජනපද ඩොලර් 2.0ක අතිරික්තයක් වාර්තා කළේ ය.

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 8

පවතින සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ ව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 දෙසැම්බර් මස 27 වැනි  දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගැනීමට තීරණය විය. කෙ සේ වෙතත්, 

ශ්‍රී ලංකා මහ බැංකුව ආර්ථිකයේ ප්‍රවණතා අඛණ්ඩ ව සමීප ව අධීක්ෂණය කර අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගනු ඇත. 

මුදල් මණ්ඩලයේ මෙම තීරණය සඳහා තුඩු දුන් ප්‍රධාන ආංශික වර්ධන ප්‍රවණතා පහත සඳහන් වේ. 

සීමාසහිත චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින්ග්ස් සමාගම වෙත හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු පැවරීම වෙනුවෙන් වූ මුල්‍ය ලැබීම්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින්ග්ස් සමාගම අතර හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගන්නා ලද ගිවිසුම් ප්‍රකාර ව ශ්‍රී ලංකා රජය වෙත ලැබිය යුතු වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 292.1 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර වී ඇත.

2017 නොවැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2017 ඔක්තෝබර් මාසයේ පැවැති සියයට 8.8ට සාපේක්ෂ ව 2017 නොවැම්බර් මාසයේ දී සියයට 8.4ක් දක්වා පහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 7.1 හි සිට 2017 නොවැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා ඉහළ ගියේ ය. 

මාසික වෙනස් වීම් සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 124.8 හි සාට 2017 නොවැම්බර් මාසයේ දී දර්ශක අංක 126.4 දක්වා ඉහළ ගියේ ය. සැපයුම් අංශයේ අහිතකර ප්‍රවණතා හේතුවෙන් ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම මෙම මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. පොල්, අමු මිරිස් සහ එළවළුවල මිල ගණන් ඉහළ යෑම ප්‍රමුඛ විය. කෙ සේ නමුත්, මාළු සහ පලතුරු මිල ගණන් පහළ ගියේ ය. මේ අතර, වෛද්‍ය රසායනාගාර ගාස්තු සහ පුද්ගලික රෝහල් කාමර ගාස්තුවල ඉහළ යෑමක් නිරීක්ෂණය විය. 

Pages