Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

නව සහකාර අධිපතිවරුන් පත් කරයි

මුදල් මණ්ඩලය විසින් 2017 අගෝස්තු මස 31 වැනි දින පැවැති රැස්වීමේ දී කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය, එස්. ගුණරත්න මහත්මිය, එන්. ඩබ්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා, ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය, ජේ. පී. ආර්. කරුණාරත්න මහතා සහ කේ. ගුණතිලක මහත්මිය යන මාණ්ඩලික පන්තියේ IV වන ශ්‍රේණියේ නිලධාරීන් සය දෙනා 2017 අගෝස්තු මස 31 වැනි දින සිට සහකාර අධිපති තනතුරට උසස් කරන ලදී.  

කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය

මුදල් මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කරන කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය එම තනතුරෙහි රාජකාරීවලට අමතර ව මූල්‍ය දෙපාර්තමේන්තුව සහ කාර්ය මණ්ඩල සේවා කළමනාකරණ දෙපාර්ත‍මේන්තුව භාර සහකාර අධිපති වශයෙන් පත් කර ඇත.

2017 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන ප්‍රකාශනය නිකුත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රකාශනයක් වන 'ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2017' පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනයෙහි ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ජනගහනය සහ ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, විදුලි සංදේශ සේවා සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල්වල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ. ඊට අමතර ව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද ගෘහ ඒකක ආදායම් වියදම් පිළිබඳ සමීක්ෂණයෙන් ලබා ගත් ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය, දරිද්‍රතාව සහ කුටුම්භ ලක්ෂණවලට අදාළ දත්ත ද මෙහි අඩංගු ය. 

2017 ජූනි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළෙඳ ශේෂයේ සැලකිය යුතු වර්ධනය සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ ලැබීම් හේතුවෙන් 2017 වසරේ ජූනි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ යම් වර්ධනයක් පෙන්නුම් කෙරිණි. කාර්මික සහ කෘෂිකාර්මික අපනයනවල සැලකිය යුතු වර්ධනය සහ පාරිභෝගික හා අන්තර් භාණ්ඩ ආනයනය අඩු වීම, 2017 වසරේ ජූනි මාසයේ වෙළෙඳ ශේෂය කැපී පෙනෙන ලෙස වර්ධනය වීම සඳහා හේතු විය. මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ප්‍රධාන වශයෙන් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ ලැබීම් මගින් පෙන්නුම් කෙරුණු අතර කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශ ආයෝජන ද මාසය තුළ දී ධනාත්මක ව පැවැතුණි. ජංගම ගිණුම වෙත වූ අනෙකුත් ප්‍රධාන ලැබීම්, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩු වීමත් සමඟ මධ්‍යස්ථ ව පැවැති අතර සංචාරක ඉපැයීම් ද මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළේ ය. මූල්‍ය ගිණුමේ හිතකර වර්ධනයන් සහ අපනයන ආදායම් ලැබීම්වල ක්‍රමික වර්ධනය විදේශීය විනිමය වෙළෙඳපොළ ස්ථාවර මට්ටමකට පත් කළ අතර එය වසර ආරම්භයට සාපේක්ෂ ව 2017 වසරේ ජූනි මස අවසානය වන විට දළ නිල සංචිත ඉහළ යෑම සඳහා හේතු විය. 

සම්පූර්ණ ලිපිය

නව නියෝජ්‍ය අධිපතිවරයෙකු පත් කිරීම

මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් අමාත්‍යතුමාගේ අනුමැතිය සහිත ව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සී ජේ පී සිරිවර්ධන මහතා 2017 අගෝස්තු මස 19 වැනි දින සිට නියෝජ්‍ය අධිපති තනතුර සඳහා පත් කර ඇත. 

සී ජේ පී සිරිවර්ධන මහතා මහ බැංකුවෙහි වසර 31කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර ආර්ථික සහ මිල ස්ථායිතාව, මූල්‍ය පද්ධති ස්ථායිතාව සහ අනෙකුත් නියෝජිත කාර්යයන් පිළිබඳ ව විශේෂ පලපුරුද්දක් දරයි. සිරිවර්ධන මහතා නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර රාජ්‍ය ණය, තොරතුරු තාක්ෂණ, නීති හා අනුකූලතා, සාර්ව විචක්ෂණතා අධ්‍යයන, මානව සම්පත්, ප්‍රතිපත්ති සමාලෝචන සහ නිරීක්ෂණ, ගෙවීම් සහ පියවීම් සහ අවදානම් කළමනාකරණ යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා විය.

2017 ජූලි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජූලි මාසයේ දී පසුගිය මාසයේ පැවැති සියයට 6.3 හි නො වෙනස් ව පැවැතුණි. 2017 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 ජූනි මාසයේ දී වාර්තා වූ සියයට 6.1 හි සිට 2017 ජූලි මාසයේ දී සියයට 6.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 ජූලි

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 ජූලි මාසයේ දී 54.3ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2017 ජූනි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 1.8කින් පහළ යන ලදී. පසුගිය මාසයට සාපේක්ෂ ව නිෂ්පාදන කටයුතු අඩු වේගයකින් වර්ධනය වීම කෙරෙහි පසුගිය මාසය තුළ එක් රැස් කර ගත් තොග භාවිතය හේතුවෙන් ගැනුම් තොග දර්ශකයේ පහළ යෑම මෙන් ම සේවය හැර යන ශ්‍රමිකයන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා නුපුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීමේ අපහසුතාව හේතුවෙන් සේවා නියුක්ති උප දර්ශකය පහළ යෑම ද බලපාන ලදි. නව ඇණවුම් සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශක අඩු වේගයකින් වර්ධනය වූ අතර නිෂ්පාදන උප දර්ශකය පසුගිය මාසයේ වාර්තා කළ මට්ටමේ ම පැවැතුණි. කෙ සේ වුව ද, සියලු ම උප දර්ශක කඩයිම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදි. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.

Pages

මාධ්‍ය නිවේදන