ප්‍රධාන කාර්යයන්
නියාමනය සහ අධීක්ෂණය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මූල්‍ය ආයතන අධීක්ෂණය හා නියාමනය සිදුකරනු ලබයි. නියාමනය තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතන විසින් සපුරාලිය යුතු ප්‍රමිති හෝ ප්‍රතිපත්ති සකස් කිරීම සිදු කරයි. අධීක්ෂණය තුළින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුල්‍ය පද්ධති ස්ථායිතාවට අනුගත වීමේ දී මූල්‍ය ආයතනවලට ඇති විය හැකි අවදානම් ඇගයීම සිදු කරන අතර, අවශ්‍ය අවස්ථාවල දී එම අවදානම් අඩු කිරීමට ක්‍රියාමාර්ග ගනු ලබයි.
ප්‍රධාන නියාමන අවශ්‍යතා වනුයේ,
(i) ඇස්තමේන්තුගත අවදානම් මත පදනම් වූ වත්කම්වල සමස්ත වටිනාකමට ප්‍රාග්ධනය දරන අවම අනුපාතය.
(ii) ද්‍රවශීල වත්කම්, වගකීම්වලට දරන අවම අනුපාතය
(iii) එක් ණයගැනුම්කරුවකුට ණය දීම්වල සීමාව
(iv) බොල් ණය හා අඩමාන ණය සඳහා වෙන් කිරීම්
(v) නිශ්චිත කාලසීමාව තුළ වාර්ෂික ව විගණනය කරන ලද වාර්ෂික ගිණුම් ඉදිරිපත් කිරීම
ආදියයි.
නියාමන අවශ්‍යතාවලින් අපේක්ෂා කරනුයේ බැංකු හා මුදල් ව්‍යාපාරවලට ආවේණික සමහර අවදානම් අවම කිරීම සඳහා උපකාරී වන විචක්ෂණශීලී ප්‍රමිතීන් වශයෙන් කටයුතු කිරීමයි. අදාළ ව්‍යවස්ථාවල විධිවිධාන මගින් එ වැනි නියාමන නිශ්චය කරනු ලැබේ.
අධීක්ෂණය මගින්;
(i) විතැන් අවේක්ෂණ තුළින් මූල්‍ය ආයතන අධීක්ෂණය හා
(ii) එතැන් පරීක්ෂණ සිදු කෙරේ.
විතැන් අවේක්ෂණය යනු; කල්තියා පිළියම් ගැනීමෙන් විසඳිය හැකි ගැටලු කල්තියා හඳුනා ගැනීමේ අරමුණින් කාලීන ව (මාසික ව, කාර්තුමය ලෙස, අර්ධ වාර්ෂික ව ආදී වශයෙන්) ආයතනවලින් ඔවුන්ගේ කාර්යසාධනය හා මූල්‍ය තත්ත්වය පිළිබඳ ව ලැබෙන දත්ත පරීක්ෂා කිරීම යි.
එතැන් පරීක්ෂණය;
මේ යටතේ ;
(i) විචක්ෂණශීලී නියාමන අවශ්‍යතාවලට අනුගත වීම නිර්ණය කිරීම
(ii) ණය අවදානම, ද්‍රවශීලතා අවදානම, වෙළෙඳපොළ අවදානම හා මෙහෙයුම් අවදානම වැනි විවිධ අවදානම් හා අවදානම් කළමනාකරණයට ආයතන දක්වන ශක්‍යතාව තක්සේරු කිරීම මගින් ආයතනවල මෙහෙයුම් කටයුතු පිළිබඳ ව ඇගයීමේ අරමුණින් පොත් හා ගිණුම් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කාලීන ව ආයතන හමුවට යයි.
මෙම පරීක්ෂණවල සොයා ගැනීම් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එම ආයතනවල කළමනාකරීත්වය සමග අඛණ්ඩ ව සන්නිවේදනය සිදු කරන අතර, නිරීක්ෂණය මත ගැටලු හා දුර්වලතා විසඳීමට ක්ෂණික ක්‍රියාමාර්ගවලට මුල පිරීම අපේක්ෂා කෙරේ.
සාර්ව විචක්ෂණ අධ්‍යයනය
සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති මගින් සමස්තයක් වශයෙන් මූල්‍ය පද්ධතියේ අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම අරමුණු කරන අතර, මූල්‍ය ස්ථායිතාවට තර්ජනයක් විය හැකි පද්ධතිමය අවදානම් ගොඩනැංවීම අඩු කිරීමට කටයුතු කරනු ලබයි. සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සහතික කිරීම සහ අවදානම් වැළැක්වීම හා ලිහිල් කිරීම සඳහා මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවට බලපෑ හැකි අවදානම් හඳුනා ගැනීම, නිරීක්ෂණය සහ ඇගයීම මගින් සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති සකස් කර ඇත. මෙම කාර්යය සඳහා මහ බැංකුව විසින් මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති නිරීක්ෂණය කරනු ලබන අතර එ මගින් පද්ධතිමය අවදානම් අවම කිරීමට විශේෂිත මෙවලම් යොදා ගැනීම (සමස්ත වෙළෙඳපොළට බලපාන අවදානම්) සහ ආර්ථික කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය අත්‍යවශ්‍ය මූල්‍ය සේවාවන්ට ඇති විය හැකි බාධා නිරීක්ෂණය කරනු ලබයි.
මෙම කාර්යය සඳහා සිදුකරනු ලබන විශ්ලේෂණය සාර්ව විචක්ෂණතා අධ්‍යයනය ලෙස හඳුන්වනු ලබයි. මෙය මූල්‍ය පද්ධතිය සමස්තයක් වශයෙන් ඇගයීම සිදු කරන ආර්ථික විශ්ලේෂණ ක්‍රියාපටිපාටියක් වන අතර මූල්‍ය පද්ධතිය තුළ පැන නගින හෝ එමගින් විස්තාරණය වන දැඩි අසමබරතාවන් සහ එ මගින් ඇති විය හැකි අවදානම් සහ අන්තරායයන් හඳුනා ගැනීම සිදු කරයි.
අසාර්ථක මූල්‍ය ආයතන නිරාකරණය
මූල්‍ය පද්ධතියේ සියලු ම ගනුදෙනු හෝ ආයතනවල ආරක්ෂාව සහතික කිරීමට කිසිදු මහ බැංකුවකට හෝ රජයකට නොහැකි වුව ද, මහ බැංකුවේ ප්‍රයත්නය වන්නේ සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතිය ස්ථාවර ව පවතින බව සහතික කිරීමයි. ශක්‍ය නොවන මූල්‍ය ආයතනයක් තිබේ නම්, එම ආයතනය ආරක්ෂිත ව නිරාකරණය සඳහා මහ බැංකුව මැදිහත් වන අතර, එම ආයතනයේ අසාර්ථකත්වයෙන් පුළුල් ආර්ථිකය මත ඇති විය හැකි අහිතකර ප්‍රතිවිපාක ඉන් අවම කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නිරාකරණ ප්‍රවේශය සඳහා අසාර්ථක මූල්‍ය ආයතනවලින් ඇතිවන බාධා අවම කිරීම අරමුණු කරගත්, ක්‍රියාකාරී අධීක්ෂණය, අවදානම් අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණය ඇතුළත් වේ. 2023 අංක 16 දරන මහ බැංකු පනත මගින් බලගන්වා ඇති පරිදි, බදු ගෙවන්නන් මත බදු බර නොපනවමින් සහ කොටස්හිමියන් සහ අනාරක්ෂිත ණයහිමියන් වගකිවයුත්තන් බවට පත් නොකර, පීඩාවට පත් මූල්‍ය ආයතන කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකි ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ රාමුව තුළ, වෙළෙඳපොළ විනය ශක්තිමත් කිරීම, මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා පරිපාලකවරයෙකු පත් කිරීම, වත්කම් පැවරීම්, ව්‍යාපාර ඒකාබද්ධ කිරීම් සහ ඈවර කිරීම් වැනි මෙවලම් භාවිතා කෙරෙයි.
මූල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් අධීක්ෂණය
මූල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් (Financial Market Infrastructure - FMIs) ආර්ථිකයේ සුමට ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන අතර පුළුල් මූල්‍ය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කරයි. වෙළෙඳපොළ නිසි ක්‍රියාකාරීත්වය හා මූල්‍ය ස්ථාවරත්වය, මූල්‍ය යටිතල පහසුකම් තුළින් සපයන ලද සේවාවන්හි ක්‍රමවත්භාවය හා අඛණ්ඩ ක්‍රියාකාරිත්වය මත රඳා පවතී. එම නිසා, අධීක්ෂණය, කළමනාකරණය හා අවදානම් අවම කිරිම, මූල්‍ය වෙළෙදපොළ යටිතල පහසුකම් සපයන්නන්ගේ ප්‍රාථමික වගකීම වේ.
යටිතල පහසුකම් ප්‍රධාන ආකාර වනුයේ,
(අ) මූල්‍ය ආයතන සම්බන්ධ ගෙවීම් පද්ධති
(ආ) සුරැකුම්පත් පියවීම් පද්ධති
(ඇ) මධ්‍ය ප්‍රතිපාර්ශ්ව වැනි අනිකුත් ආයතන (දැනට මෙවැනි කිසිදු ආයතනයක් මහ බැංකුවේ විෂය පථය යටතේ නො පවතී) ආදිය යි.
වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය යටිතල පහසුකම් සපයන්නන්ගේ අඛණ්ඩව සේවා සැපයීමේ හැකියාව මත රඳා පවතී. ගෙවීම් පද්ධති, ව්‍යාපාර හා අනිකුත් වෙළෙඳපොළ ක්‍රියාකාරීන්ට භාණ්ඩ හා සේවා සඳහා මුදල් ගෙවීම, ණය ලබාදීම, ණය ලබාගැනීම හෝ හුදු මුදල් හුවමාරු සඳහා මුදල් යැවීමට හෝ ගෙවීමට පහසුකම් සලසයි. සුරැකුම්පත් පියවීමේ පද්ධතිය කොටස් හෝ ණය සුරැකුම්පත්වල ආයෝජන හුවමාරුව සඳහා පහසුකම් සලසයි. මධ්‍ය ප්‍රතිපාර්ශ්ව, මුල් ප්‍රතිපාර්ශ්වයන්ගේ ණය පැහැර හැරීම්වලට එරෙහිව වෙළෙදපොළ ක්‍රියාකාරීන් සඳහා (ඇපවීම්) සහතික ලබා දෙයි.
එහි අධීක්ෂණ හා නියාමන වගකීම්වලට අමතර ව, ශ්‍රී ලංකා මහ බැංකුව විශාල වටිනාකම් සහිත රුපියල් ගනුදෙනු පද්ධතිය (Real Time Gross Settlement System - RTGS ) හා රජයේ සුරැකුම්පත් සඳහා සුරැකුම්පත් පියවීම් පද්ධති (Scrip-less Securities Settlement System - SSSS ) සඳහා යටිතල පහසුකම් සපයනු ලැබේ.
මූල්‍ය ආරක්ෂණ ජාල
තැන්පතු රක්ෂණය යනු සාමාජික මූල්‍ය ආයතනයක ණය ගෙවීමට නොහැකි වීම නිසා සිදුවන අලාභවලින් තැන්පත්කරුවන් ආරක්ෂා කරන මූල්‍ය ආරක්ෂණ ජාල යාන්ත්‍රණයකි. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ සක්‍රීය කිරීමේ විධිවිධාන යටතේ, 2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ රෙගුලාසි යටතේ, 2010.10.01 දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය (SLDIS) ලෙස අනිවාර්ය තැන්පතු රක්ෂණ ක්‍රමයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලදී. 2013 වර්ෂයේ දී සිදු කරන ලද පසු කාලීන සංශෝධන මත පදනම් ව, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ නම ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය ලෙස සංශෝධනය කරන ලදී. මෙම යෝජනා ක්‍රමය රටේ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීමේ ක්‍රියාත්මක කරන ලද අතර, එය මූල්‍ය ආයතන අසාර්ථකත්වයට පත්වීමෙන් තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට සහ එමගින් තැන්පත්කරුවන්ගේ විශ්වාසය පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවල ස්ථායීතාව සඳහා සහාය වීමට යාන්ත්‍රණයක් ප්‍රවර්ධනය කළේය.
2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත (BSPA) ක්‍රියාත්මක කිරීමත් සමග, ශ්‍රී ලංකාවේ තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය නීත්‍යානුකූලව ස්ථාපිත කර, එහි නම ‘ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය’ (SLDIS) ලෙස නම් කෙරිණි. බැංකු (විශේෂ විධිවිධාන) පනත මත පදනම් ව, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය එහි සාමාජික ආයතනයක (MI) තැන්පත්කරුවන් විසින් සිදු කරනු ලබන තැන්පතු රක්ෂණය කිරීමේ ප්‍රධාන අරමුණු දෙකක් සමගින් ක්‍රියාත්මක වන අතර, ඒවා නම්, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් තීරණය කරනු ලබන ඕනෑම උපරිම මුදලක් දක්වා එවැනි තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම සහ ආරක්ෂණ පියවරක් ලෙස බලපත්‍රලාභී බැංකුවක වත්කම් සහ වගකීම් පැවරීම පහසු කිරීම සඳහා සුදුසු මූල්‍ය ආධාර සැපයීමේ ක්‍රමයක් පිහිටු වීම යි.
වර්තමානයේ, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි සාමාජික ආයතන සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වලින් සමන්විත වේ. 2021.04.01 දින සිට බලපැවැත්වෙන පරිදි, මුදල් මණ්ඩලය/ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් සාමාජික ආයතනයක බලපත්‍රය අවලංගු කළහොත්, සුදුසුකම්ලත් තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය විසින් එක් ආයතනයකට එක් තැන්පත්කරුවෙකුට රු. 1,100,000ක උපරිමයක් දක්වා වන්දි ගෙවනු ලැබේ.