මුදල් ප්‍රතිපත්තිය

 

සමස්ත විග්‍රහය

මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායිතාව යන සාර්ව ආර්ථික අරමුණ ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් ආර්ථිකයක් තුළ මුදලේ පිරිවැය සහ මුදල් සැපයුම කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය යි.

ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම දරන ආයතනය වන අතර, ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තීරණය කිරීම සහ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ. මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කටයුතු ආර්ථිකයේ පවත්නා පොලී අනුපාතික මත බලපෑම් කරනු ලබන අතර ම, එය ණයගැතියන් හා  ණයහිමියන්ගේ හැසිරීම, ආර්ථික ක්‍රියාකාරකම් සහ අවසාන වශයෙන් උද්ධමන අනුපාතිකය මත බලපෑම් ඇති කරනු ලබයි. ඒ අනුව, උද්ධමනය පාලනය කිරීම සහ උද්ධමනය අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය භාවිත කරනු ලැබේ.

 

මිල ස්ථායිතාව

මිල ස්ථායිතාව යනු ආර්ථිකයේ පොදු  මිල මට්ටමේ පුළුල් උච්චාවචනයන් නොමැති තත්ත්වයක් වන අතර එය තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට උපකාරී වේ. මිල ගණන් අඩු වේගයකින් උච්චාවචනය වන විට, කුටුම්භ සහ ව්‍යාපාර ආදී ආර්ථික නියෝජිතයින්ගේ ආර්ථික තීරණ කෙරෙහි ඉන් සැලකිය යුතු බලපෑමක් ඇති නොකෙරෙනු ඇත. තව ද, මිල ස්ථායිතාව මහජනතාවගේ උද්ධමන අපේක්ෂා වඩා හොඳින් පාලනය කිරීමට  උපකාරී වන අතර, එමගින් සැබෑ උද්ධමනය අඩු සහ ස්ථාවර මට්ටමක පවත්වා  ගැනීම පහසු කරවයි. එබැවින්, ස්ථාවර මිල ගණන් මගින් නිෂ්පාදනය කළ යුත්තේ කුමක්ද සහ නිෂ්පාදනය කරන්නේ කෙසේද යනාදී ආර්ථික තීරණ මත අනිසි බලපෑම් ඇති නොවන  අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයේ සම්පත් කාර්යක්ෂම ව බෙදා හැරීමට උපකාරී වෙමින් දිගු කාලීන ව ආර්ථික ස්ථායිතාව සහ ආර්ථිකයේ තිරසාර වර්ධනයට හේතු වේ. ඒ අනුව, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව, මහ බැංකුව, දේශීය මිල ස්ථායිතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යෑමේ මූලික අරමුණ ඉටු කරගැනීමේ දී, වෙනත් කරුණු අතර, ආර්ථිකය එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වීම ද සැලකිල්ලට ගත  යුතු ය.

 

මුදල් ප්‍රතිපත්ති රාමුව

මහ බැංකුව දේශීය මිල ස්ථායිතාව පවත්වා ගෙන යෑමේ මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ (Flexible Inflation Targeting) රාමුවට අනුකූල ව මුදල් ප්‍රතිපත්තිය සකස් කිරීම සහ නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ වගකීම දරයි. මෙම නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව මගින් මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකුව අතර ඇති කරගත් මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුම (MPFA) මගින් තීරණය කර ඇති, ඉලක්කගත මට්ටමේ  උද්ධමනය පවත්වා ගෙන යෑම අරමුණු කෙරේ. 2023 ඔක්තෝබර් මස 5 වැනි දින රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව මහ බැංකුව විසින් කාර්තුමය මතුපිට උද්ධමනය සියයට 5ක මට්ටමේ පවත්වා ගෙන යා යුතුය. 

උද්ධමන ඉලක්කය ළඟා කර ගැනීමේ අරමුණ ඇතිව අපේක්ෂිත දිශානතිය ඔස්සේ කෙටි කාලීන පොලී අනුපාතික මෙහෙයවීම සඳහා මහ බැංකුව සිය ප්‍රතිපත්ති උපකරණ භාවිත කරයි. මුදල් වෙළඳපොළෙහි  කෙටි කාලීන පොලී අනුපාතික සඳහා මඟ පෙන්වීමට, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පෙන්නුම් කරනු ලබන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය වන එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR), වරින් වර සමාලෝචනය කර අවශ්‍ය වන්නේ නම් සුදුසු පරිදි වෙනස් කරනු ලැබේ. කෙටි කාලීන මුදල් වෙළඳපොළ පොලී අනුපාතිකයක් වන, බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR) වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුව යටතේ මෙහෙයුම් ඉලක්කය ලෙස ක්‍රියාත්මක වේ. තවද, කෙටිකාලීන පොලී අනුපාතික අපේක්ෂිත මට්ටම් කරා මෙහෙයවීම සඳහා දේශීය මුදල් වෙළඳපොළෙහි  ද්‍රවශීලතා තත්ත්වයන් කළමනාකරණය කිරීමට විවට වෙළඳපොළ  කටයුතු (OMOs) ද පවත්වනු ලැබේ. දෛනික වෙන්දේසියේ දී තම ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වූ සහභාගීවන මූල්‍ය ආයතන සඳහා නිත්‍ය පහසුකම් සපයනු ලැබේ. 

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය හඳුන්වා දීමට පෙර, නිත්‍ය පහසුකම් අනුපාතික, එනම්, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස ක්‍රියා කළේය. මින් පෙර, මහ බැංකුව මුදල් ඉලක්කකරණය සහ නම්‍යශීලී උද්ධමනය ඉලක්කකරණය යන ක්‍රමවේද දෙකෙහි ම ලක්ෂණවලින් සමන්විත වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුවක් තුළ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ ය. මෙම රාමුව යටතේ උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායිව පවත්වා ගැනීමට මහ බැංකුව ක්‍රියා කළේය. වර්තමානයේ දී මෙන්, බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR) මෙහෙයුම් ඉලක්කය ලෙස භාවිත කෙරිණි. 1980 දශකයේ මුල් භාගයේ මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති රාමුව ලෙස මුදල් ඉලක්කකරණය භාවිතයට ගනු ලැබූ අතර, මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන නාමික විචල්‍ය ලෙස මුදල් සමස්ත යොදා ගනු ලැබිණි. මුදල් ඉලක්කකරණ රාමුව යටතේ මිල ස්ථායිතාව සඳහා බලපාන ප්‍රධාන සාධකය ලෙස මුදල් සැපයුමේ වෙනස්වීම් සලකන ලදී. කෙසේ වෙතත්, මුදල් සැපයුම සහ උද්ධමනය අතර පැවති දුර්වල සම්බන්ධතාවක් මධ්‍යයේ මුදල් ගුණකයේ සහ ප්‍රවේගයේ ඉහළ යන අස්ථාවරත්වය සැලකිල්ලට ගෙන, නාමික විචල්‍යයක් ලෙස මුදල් ඉලක්කවල කාර්යභාරය අවිනිශ්චිත වූ අතර මහ බැංකුවේ සන්නිවේදන උපායමාර්ගය ද සංකීර්ණ වූ බැවින්, මහ බැංකුවට සිය මුදල් ප්‍රතිපත්ති රාමුව වෙනස් කිරීමට සිදු විය. 

 

මුදල් ප්‍රතිපත්තිය - නිතර අසනු ලබන ප්‍රශ්න