බැංකු විදු පියස

මූල්‍ය අංශයේ වර්ධනය උදෙසා ශ්‍රී ලංකා මහ බැංකු නිළධාරීන්ට මෙන්ම බැංකු අංශයේ සහ අනෙකුත් මූල්‍ය ආයතනවල නිළධාරීන්ට අවශ්‍ය වන දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මානව සම්පත් සංවර්ධන හා පුහුණු අංශය වන බැංකු විදු පියෙස, “ග්‍රාමීය බැංකු හා මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලය (RB&STC)“ ලෙස 1981 සැප්තැම්බර් මස 15 වන දින ආරම්භ කරන ලදී. සමස්තයක් ලෙස රට තුල මුල්‍ය අන්තර්ගතබවය ඇතිකිරීම සහ ග්‍රාමීය අංශයේ මූල්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ නිපුණතා සහිත පුහුණුවක් ලබා දීම මෙහි ආරම්භයේ සිටම අවශ්‍යතාවය විය. එබැවින්, ග්‍රාමීය හා සංවර්ධන බැංකු කටයුතු කේන්ද්‍ර කරගනිමින් මෙහි පුහුණු පාඨමාලාවන් ගොඩනැංවී තිබුණි.

දේශීය මූල්‍ය පද්ධතිය, ගෝලීය මූල්‍ය පද්ධතිය හා සංකලනය වීමේ ප්‍රතිඵලයක් ලෙස, ආර්ථිකයේ වේගවත් වර්ධනයත් සමඟ මූල්‍ය හා මූල්‍ය නොවන අංශයන්හි ප්‍රසාරණයක් ශ්‍රී ලංකාව විසින් වසර ගණනක සිට අත්දකිමින් සිටී. මූල්‍ය අංශයේ මෙම ප්‍රගතිය අවබෝධ කරගත් ග්‍රාමීය බැංකු හා මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලය, වෙනස්වන පරිසරයට ගැළපෙන පරිදි සිය වැඩසටහන් විවිධාංගීකරණය කරන ලදී. මෙම නව ප්‍රවනතාවයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 1998 දී මෙම විද්‍යාලය “බැංකු විදු පියෙස“ ලෙස නම් කරන ලදී.

පරිණත පුහුණු කේන්ද්‍රයක් වන බැංකු විදු පියෙස විසින්, වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුඵ අනෙකුත් රටවල මහ බැංකු නිලධාරීන් හා අනෙකුත් මූල්‍ය ආයතන වල නිලධාරීන් සඳහා මහ බැංකුකරණය, බැංකු හා මූල්‍ය කටයුතු, ආර්ථික විද්‍යාව, භාණ්ඩාගාර මෙහෙයුම් , කලමනාකරණය, භාෂා හා තොරතුරු තාක්ෂණවේදය, නීති සහ රෙගුලාසි සහ පර්යේෂණ සහ දත්ත විශ්ලේෂණය යන ක‍ෙෂ්ත්‍රයන් පුඵල් ලෙස ආවරණය කරමින්, අග්නිදිග ආසියානු කලාපීය මහ බැංකු සංගමය (SEACEN), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), විදේශ මහ බැංකු හා ජාත්‍යන්තර පුහුණු ආයතන හා එක්ව පුහුණු පාඨමාලා පවත්වනු ලැබේ. මීට අමතරව, බැංකු විදු පියෙස විසින්, රාජ්‍ය හා පුද්ගලික ආයතනයන්හි ඉල්ලීම පරිදි ඔවුන්ගේ කාලීන පුහුණු අවශ්‍යතාවයන්ට සරිලන ලෙසද පාඨමාලා පවත්වනු ලැබේ. එමෙන්ම, තිරසාර මූල්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් මූල්‍ය අංශය නියෝජනය කරන පුහුණුවන්නන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ දී බැංකු විදු පියෙස විසින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. මේ සදහා, බැංකු විදු පියෙස, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) වැනි ආයතන සමඟ එක්ව මෙම හැකියා වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම සියලු පාඨමාලා, ක‍්ෂේත්‍රයේ අත්දැකීම් බහුල දේශීය හා විදේශීය වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලැබේ.

ආර්ථිකය හා මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව මහජන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ සමාජ වගකීමේ වැදගත්කම අගය කරමින්, මුල්‍ය ක්ෂේශ්ත්‍රයට හා ආර්ථිකයට සම්බන්ද කාලීන ගැටළු පිළිබද ප්‍රසිද්ධ දේශන සංවිධානය කිරීමටද බැංකු විදු පියෙස කටයුතු කරයි. විවිධ විෂය ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් ආර්ථික වශයෙන් සුවිශේෂී මාතෘකා පිළිබඳ සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවය ද බැංකු විදු පියෙස හඳුනාගෙන ඇත. මේ සඳහා වසර පුරා ඉහළ පෙළ විශේෂඥයින්ගේ සම්මන්ත්‍රණ (High Level Seminars) සහ විද්වත් මණ්ඩල කථිකාවන් (Expert Panel Discussions) සංවිධානය කරන ලද අතර කාලීන මාතෘකා පිළිබඳව වෘත්තිකයන් සහ මහජනතාව අතර සැලකිය යුතු උනන්දුවක් ඇති කිරීමට මෙම සම්මන්ත්‍රණ ඉවහල් වී ඇත. දැනුම හා කුසලතා වැඩිදියුණු කරගැනීම සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලාවලට සහභාගීවීම සඳහා බැංකු විදු පියෙසට නිරන්තරයෙන් පැමිණෙන පිරිස අතර මූල්‍ය ක්ෂේත්‍රෙය් නිළධාරීන්, ගුරුවරුන්, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද වේ.

නවීන පහසුකම් සහිත ශ්‍රවණාගාරය, සම්මන්ත්‍රණ ශාලා, පුහුණු පන්තිකාමර, පරිගණකාගාර, පුස්තකාලය, ආපනශාලා, 50 කට වැඩි මෝටර් රථ සඳහා රථ ගාලක් ඇතුඵ නවීන පුහුණු පහසුකම් හා සහායක සේවාවන්ගෙන් බැංකු විදු පියෙස සමන්විත වේ. කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයට කි.මී. 7 දුරින්, සීඝ්‍රයෙන් සංවර්ධනය වන රාජගිරියේ, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ බැංකු විදු පියෙස පිහිටා ඇත.