මුදල් ප්‍රතිපත්ති උපකරණ සහ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

 

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගත හැකි උපකරණ ගණනාවක් මහ බැංකුව සතුව පවතී. වර්තමානයේ දී ප්‍රධාන වශයෙන් භාවිතයට ගනු ලබන මුදල් ප්‍රතිපත්ති උපකරණ ලෙස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය, විවට වෙළඳපොළ කටයුතු, නිත්‍ය පහසුකම් සහ බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතැති රුපියල් තැන්පතු වගකීම් මත පනවනු ලබන ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව දැක්විය හැකි ය. 

 

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය යනු තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය යටතේ පවතින  මහ බැංකුවේ  ප්‍රතිපත්ති පොලී අනුපාතිකය යි (2024 නොවැම්බර් මස 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි). එය මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම් දීම සඳහා භාවිතා කරන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය වේ. අපේක්ෂිත උද්ධමන මට්ටම ළඟාකර ගැනීමේ අරමුණින් ආර්ථිකයේ පොලී අනුපාතික ව්‍යුහය සඳහා මඟපෙන්වීමට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මෙම එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය කලින් කලට සමාලෝචනය කර, අවශ්‍ය වන්නේ නම්, සුදුසු පරිදි වෙනස් කරනු ලැබේ.

 

විවට වෙළඳපොළ කටයුතු

ද්‍රවශීලතා තත්ත්වයන් කළමනාකරණයට සහ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට හෝ ඊට ආසන්න ව කෙටි කාලීන පොලී අනුපාතික පවත්වා ගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් කලින් තීරණය කරන ලද ආන්තිකයක් සමග  එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය හා සම්බන්ධ කර ඇති  නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) මගින් සැකසුණු නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව තුළ සක්‍රීය විවට වෙළඳපොළ කටයුතු ක්‍රමය යටතේ සිය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබයි. 

කෙටි කාලීන පොලී අනුපාතික ස්ථාවර ව පවත්වා ගැනීමට වෙළඳපොළ අතිරික්ත ද්‍රවශීලතාවක් තිබේ නම් ද්‍රවශීලතාව අවශෝෂණය කර ගැනීමට හෝ ද්‍රවශීලතා හිඟයක් තිබේ නම් ද්‍රවශීලතාව සැපයීම සඳහා මහ බැංකුව විවට වෙළඳපොළ කටයුතු පවත්වනු ලැබේ. විවට වෙළඳපොළ කටයුතු රජයේ සුරැකුම්පත් ස්ථාවර හෝ තාවකාලික පදනම මත මිල දී ගැනීමේ/ විකිණීමේ වෙන්දේසි ඔස්සේ පවත්වනු ලැබේ (විවට වෙළඳපොළ කටයුතු පැවැත්වීමේ ක්‍රියාවලියෙහි වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න). මෙම වෙන්දේසි බහු ලංසු, බහු මිල ක්‍රමයක් යටතේ පැවැත්වේ. මුදල් වෙළඳපොළ සහභාගිවන්නන් සඳහා  එක් කෙටි කාලීන වෙන්දේසියක දී උපරිම ලංසු තුනක් සහ එක් දිගු කාලීන වෙන්දේසියක දී උපරිම ලංසු හයක් දක්වා ඉදිරිපත් කළ හැකි අතර සාර්ථක වන ලංසු තබන්නන්ට අදාළ ලංසුවේ සඳහන් අනුපාතික යටතේ ඔවුන්ගේ ඉල්ලීම් ලැබෙනු ඇත. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර වන්නේ ද්‍රවශීලතා පුරෝකථනයයි (විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න)

විවිට වෙළඳපොළ කටයුතුවලට එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සමඟ වෙළඳපොළ පොලී අනුපාතික මෙහෙයවීම අරමුණු කරගත් උපකරණ රාශියක් ඇතුළත් වේ. මෙම උපකරණ අතරට ද්‍රවශීලතා සැපයීම්  සහ ඇප සුරැකුම්පත් සහිතව ද්‍රවශීලතා අවශෝෂණයන් අයත් වන ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් වෙන්දේසි සහ ද්විතීයික වෙළඳපොළෙන් මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් විකිණීම හෝ මිලදී ගැනීම ඇතුළත් වන ස්ථීර පදනම මත වෙන්දේසි ඇතුළත් වේ. මෙම සෑම මෙහෙයුමක් ම වෙළඳපොළ පොලී අනුපාතිකවල ස්ථායි බව සහතික කිරීම සඳහා එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සමඟ උපායමාර්ගික ව ගැළපීම් සිදු කර ඇති අතර එමගින් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය ශක්තිමත් වේ. එක්දින සහ කෙටි කාලීන ප්‍රතිමිලදී ගැනීමේ වෙන්දේසිවල ලංසු අනුපාත සඳහා ඉහළ සීමාව ලෙස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ක්‍රියා කරන අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) පහළ සීමාව ලෙස ක්‍රියා කරයි. ප්‍රතිවිකුණුම් වෙන්දේසිවල ලංසු අනුපාත සඳහා පරාසය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) අතර වේ. මහ බැංකුව එක් දින සහ කෙටි කාලීන වෙන්දේසිවල ලංසු අනුපාත මෙම පරාසයන් තුළ උච්චාවචනය වීමට ඉඩ සලසන අතර, ද්‍රවශීලතා ගැළපීම් සඳහා පාලනය කළ, නමුත් නම්‍යශීලී යාන්ත්‍රණයක් සපයයි.

 

නිත්‍ය පහසුකම්

දෛනික වෙන්දේසිවල දී තම ද්‍රවශීලතා අවශ්‍යතා ලබා ගැනීමට නොහැකි වූ සහභාගීවන මූල්‍ය ආයතන සඳහා නිත්‍ය පහසුකම් භාවිත කළ හැකිය. උදාහරණයක් ලෙස, විවට වෙළඳපොළ වෙන්දේසියකින් පසුව සහභාගිවන්නෙකුට අතිරික්ත මුදල් තිබේ නම්, සහභාගිවන්නාට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) යටතේ නිත්‍ය තැන්පතු පහසුකම හරහා එවැනි අරමුදල් තැන්පත් කළ හැකි ය. ඒ හා සමාන ව, අරමුදල් හිඟයක් පවතින අවස්ථාවක සහභාගිවන්නෙකුට ද්‍රවශීලතාව අවශ්‍ය නම්, සහභාගිවන්නාට නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) යටතේ නිත්‍ය ණය පහසුකම හරහා ප්‍රතිවිකුණුම් පදනම මත අරමුදල් ණයට ලබා ගත හැකිය. ඒ අනුව, මෙම පහසුකම් එක්දින පොලී අනුපාතිකයන්හි ඇති වන පුළුල් උච්චාවචනයන් පාලනය කිරීමට උපකාරී වේ.

 

ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව

ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව (Statutory Reserve Requirement) යනු බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිය රුපියල් තැන්පතු වගකීම්වලින් මහ බැංකුවෙහි තැන්පතුවක් ලෙස පවත්වාගෙන යා යුතු ප්‍රමාණයයි. ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මහ බැංකුව මගින් නිශ්චය කරනු ලබන ප්‍රමාණයක සංචිතයක් මහ බැංකුවෙහි පවත්වාගෙන යා යුතු වේ. වර්තමානයේ දී ශ්‍රී ලංකා රුපියල්වලින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන ඉල්ලුම්, කාලීන හා ඉතුරුම් තැන්පතු ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවට යටත් වේ.

මුදල් සැපයුම කෙරෙහි බලපෑම් කිරීම සඳහා අතීතයේ දී ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව  බහුල වශයෙන් යොදා ගන්නා ලදී. කෙසේ වෙතත්, වෙළඳපොළ පදනම් කරගත් මුදල් ප්‍රතිපත්තියට වැඩි වශයෙන් නැඹුරු වීමත් සමඟ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව කෙරෙහි යොමු වීම ක්‍රමානුකූල ව අඩු වී ඇති අතර, එම නිසා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව පැනවීම හේතුවෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් දැරිය යුතු වක්‍රාකාර පිරිවැය ද අඩු වේ. ඒ අනුව, වෙළඳපොළ තුළ අඛණ්ඩ ව පවත්නා ද්‍රවශීලතා ගැටලු විසඳීම සඳහා  වර්තමානයේ දී මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව භාවිත කරයි. (ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න.)

වෙනත් මුදල් ප්‍රතිපත්ති උපකරණ

මෙම උපකරණවලට අමතර ව, ආර්ථිකයේ අවශ්‍යතා සහ ස්වභාවය මත පදනම්ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ණය මත ප්‍රමාණාත්මක සීමා කිරීම්, පොලී අනුපාතික මත උපරිම සීමා පැනවීම්, ශිෂ්ට ප්‍රයෝග මෙන් ම, සන්නිවේදනය සහ ඉදිරි මාර්ගෝපදේශ ද භාවිතා කිරීමට මහ බැංකුවට හැකියාව ඇත.