ප්‍රාදේශීය කාර්යාල

එක් එක් පළාත්වල ඵලදායී සම්පත් සංවර්ධනය කිරීමේ කාර්යය දිරිගැන්වීම හා ප්‍රචලිත කිරීම අරමුණු කොටගෙන බැංකු ක්ෂේත්‍රයේ ද සහයෝගය සහිත ව ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු ප්‍රාදේශීය කාර්යාලය 1981 මාර්තු මස මාතර දී ස්ථාපනය කෙරුණි. 

අනතුරු ව දෙවන හා තෙවන ප්‍රාදේශීය කාර්යාල අනුපිළිවෙලින් අනුරාධපුර හා මාතලේ දිස්ත්‍රික්කයන්හි 1982 මාර්තු මස හා 1985 දෙසැම්බර් මස ස්ථාපනය විය. උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව සිය සිව්වන ප්‍රාදේශීය කාර්යාලය 2010 ජූලි මස යාපනය දිස්ත්‍රික්කයේ ද, පස්වන ප්‍රාදේශීය කාර්යාලය 2010 නොවැම්බර් මස ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ද, සය වන ප්‍රාදේශීය කාර්යාලය 2015 මැයි මස කිළිනොච්චි දිස්ත්‍රික්කයේ ද ආරම්භ කරන ලදී.   

2016 ජනවාරි මස නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාපනය කෙරුණු සත් වන ප්‍රාදේශීය කාර්යාලය මූලික වශයෙන් නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි වැවිලි ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවා වඩාත් පහසුවෙන් ලබා දීම සඳහා ස්ථාපනය වූවකි. 2017 ජූනි මස 30 වැනි දින යාපනය සහ කිළිනොච්චි ප්‍රාදේශීය කාර්යාල ඒකාබද්ධ කිරීමෙන් නැවතත් ප්‍රාදේශීය කාර්යාල සංඛ්‍යාව හයක් බවට පත් විය. 

ප්‍රාදේශීය කාර්යාල විසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාදේශීය වශයෙන් නියෝජනය කරමින් එහි ක්‍රියාකාරකම් ප්‍රාදේශීයව ව්‍යාප්ත කිරීම හරහා ශක්තිමත් කලාපීය නියෝජනයක් පවත්වා ගැනීම තුළින් මහ බැංකුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සිය දායකත්වය සපයනු ලබයි..

ප්‍රාදේශීය කාර්යාල ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක

1. ප්‍රාදේශීය කාර්යාලය - මාතර

ගාල්ල, මාතර, හම්බන්තොට හා රත්නපුර යන දිස්ත්‍රික්ක

2. ප්‍රාදේශීය කාර්යාලය - අනුරාධපුර 

අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක

3. ප්‍රාදේශීය කාර්යාලය - මාතලේ

මහනුවර, මාතලේ හා කෑගල්ල යන දිස්ත්‍රික්ක

4. ප්‍රාදේශීය කාර්යාලය - ත්‍රිකුණාමලය

ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්ක

5. ප්‍රාදේශීය කාර්යාලය - කිළිනොච්චිය

කිළිනොච්චි, වවුනියා, යාපනය, මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්ක

6. ප්‍රාදේශීය කාර්යාලය - නුවරඑළිය

නුවරඑළියල මොණරාගල හා බදුල්ල යන දිස්ත්‍රික්ක

තවද, බස්නාහිර පළාතට අයත් කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක මූල්‍ය සමාවේශන දෙපාර්තමේන්තුව මගින් ආවරණය කරයි.

අරමුණු

    • ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයට අනුකූලව මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම තුළින්, ප්‍රාදේශීය මට්ටමින් පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා ගුණාත්මක මූල්‍ය සේවාවන් වෙත සාධාරණ ප්‍රවේශයක් ඇති කිරීම සහ වගකීමෙන් යුතුව භාවිතා කිරීම සහතික කරන, මූල්‍යමය වශයෙන් දැනුවත් පරිසරයක් ඇති කිරීම මගින් මූල්‍ය ස්ථායිතාවය වර්ධනය කිරීමට සහාය වීම. 
    • මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශයට අනුකූලව, ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය හැසිරීම සහ මූල්‍ය හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, මූල්‍යමය වශයෙන් දැනුවත් සහ ඔරොත්තු දෙන ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් මූල්‍ය සාක්ෂරතා මුලපිරීම් ක්‍රියාත්මක කිරීම. 
    • ඌන සේවා ලාභී ජන කොටස්වල ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ ප්‍රාදේශීය විෂමතා සහ අසමානතා අවම කිරීමට දායක වීමට සහාය වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවාවන් ප්‍රාදේශීය මට්ටමින් පවත්වා ගෙන යාම.

ප්‍රාදේශීය කාර්යාලවල කාර්යයන්

    • මූල්‍ය සාක්ෂරතාවයෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් ඇතිකිරීම සඳහා දායක වෙමින්, ප්‍රාදේශීය ප්‍රජාව අතර දැනුවත්භාවය පුළුල් කිරීම සහ ඉහළ නැංවීම සඳහා මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් පැවැත්වීම.
    • පාසල් දරුවන්, විශ්ව විද්‍යාල සිසුන්, බැංකු වෘත්තිකයන්, රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් ඇතුළු ඉලක්කගත කණ්ඩායම් අතර මූල්‍ය දැනුම වර්ධනය කිරීම සඳහා විවිධ මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
    • ප්‍රාදේශීය පාර්ශවකරුවන් සමග ශක්තිමත් සහ යහපත් සම්බන්ධතා වර්ධනය කර ගැනීම තුළින් මහ බැංකුවේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම.
    • ප්‍රාදේශීය මට්ටමින් මහ බැංකුවේ සන්නාම පැවැත්ම සහ කීර්තිය ශක්තිමත් කරන අතරම එහි කාර්යභාරය සහ ක්‍රියාකාරකම් පිළිබඳ පිළිබඳ මහජන අවබෝධය වැඩි දියුණු කිරීම.
    • මහ බැංකුවේ දෙපාර්තමේන්තුවල කාර්යයන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා  අවශ්‍ය සහාය ලබාදීම.