Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු අඛණ්ඩ ව ඉදිරියට

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයකු කොවිඩ්-19 ආසාදනයට ලක් වී ඇති බව 2020 නොවැම්බර් 19 වන දින අනාවරණය විය. ඔහු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවෙයි.

මේ බව අනාවරණය වූ වහා ම වෛරසය පැතිර යෑම වැලැක්වීම සඳහා අවශ්‍ය සියලු කඩිනම් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇත. මහ බැංකු මූලස්ථාන පරිශ්‍රය පූර්ණ හා දැඩි විෂබීජහරණයකට ලක් කිරීම, ආසාදිතයාගේ සමීප ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීම මේ වන විටත් සිදු කොට අවසන් ය. එම පරීක්ෂණ අනුව ආසාදිතයා හැර අන් කිසි ම නිලධාරියකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. නමුත් පූර්ව ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස ආසාදිතයා අනාවරණය වූ දින දක්වා  ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යේෂ්ඨ නිලධාරීන් සියලු දෙනා ම 2020 නොවැම්බර් 20 වන දා සිට සති දෙකක කාලයක් නිවසේ සිට සිය සේවා සපයනු ඇත.

සිය සේවකයන්ගේ සහ මහ බැංකුව වෙත සේවා ලබා ගැනීමට එන මහජනතාවගේ ආරක්ෂාව ඉහළ ම ප්‍රමුඛත්වයේ ලා සලකන ශ්‍රී ලංකා මහ බැංකුව, වෛරස ආසාදනය වලක්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නියමාකාරයෙන් අනුගමනය කරන බව අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව

එක්සත් ජනපද ඩොලරයෙන් නාමනය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම ශ්‍රී ලංකා රජය මඟින් සිදු කරයි. මෑතකදී සිදු කළ සංවර්ධන බැඳුම්කර නිකුතුව නොවැම්බර් මස 10 සිට 13 වන දින දක්වා සිදු කෙරිණි. එහි ගෙවීම් කළ යුතු දිනය නොවැම්බර් 18 දින වේ. එම වෙන්දේසියේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 24.82 ක මුදලක් රැස් කරන ලදී. එහිදී වසර 1 මාස 2 සිට වසර 4 මාස 2 දක්වා වන පරිණත කාලයන් ස්ථාවර ඵලදා අනුපාතිකය සියයට 6.69 සිට 6.82 දක්වා නිකුත් කෙරිණි.

කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය සහන කාලයක් ලබාදීම

කොවිඩ්-19 ව්‍යසනයේ දෙවන ව්‍යාප්තිය නිසා ව්‍යාපාර හා පුද්ගලයින් විසින් මුහුණපා ඇති ගැටළු සලකා බලමින්, බලපත්‍රලාභී බැංකු විසින් කොවිඩ්-19 ව්‍යසනය මගින් බලපෑමට ලක්වී ඇති පුද්ගලයන් හා ව්‍යාපාර වෙත ලබා දී ඇති ණය සහනයෝජනා ක්‍රමය 2020 ඔක්තෝබර් 01 දින සිට තවත් මාස හයක කාලයකින් දීර්ඝ කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත නියෝග කර සිටී. සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන් විසින් ණය සහන කාලය දීර්ඝ කරගැනීම සඳහා වන ඉල්ලීම් 2020 නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කල යුතුවේ. මෙම යෝජනාක්‍රමයේ ප්‍රධාන අංගයන් පහත පරිදි වේ.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 සැප්තැම්බර්

වෙළඳ හිඟය අඛණ්ඩව පහත වැටීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු ලෙස වැඩි වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ස්ථාවරත්වය යනාදියෙහි හිතකර බලප‍ෑම හේතුවෙන් 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් විය. අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා භාණ්ඩ අපනයනය වර්ධනය වීමත්, මාසය තුළ භාණ්ඩ ආනයන අඩු වීමත් සමඟ වෙළඳ හිඟය පෙර වසර හා සසඳන විට 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී අඩු විය. 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2011 වසර අවසානයෙන් පසු ඉහළ ම වාර්ෂික වර්ධන වේගය වාර්තා කළේය. මූල්‍ය ගිණුමේ, රජයේ සුරැකුම්පත් වෙළඳපොළ තුළ මෙම මාසය තුළ විදේශ ආයෝජන ලැබීම් සුළු ප්‍රමාණයක් වාර්තා වූ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් ගෙවීම් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම් විනිමය අනුපාතිකයට ඇති පීඩනය ලිහිල් කළ අතර, දළ නිල සංචිත ඉහළ නැංවීම සඳහා ශුද්ධ පදනම මත විදේශ විනිමය අවශෝෂණය කර ගැනීමට මහ බැංකුවට හැකියාව ලැබිණි. මෙම ප්‍රවණතා නිරූපණය කරමින්, 2020 වසරේ සැප්තැම්බර් මාසය තුළ ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය විය.

ශ්‍රී ලංකා මහ බැංකුව 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ සහන කාලය මාස 6 සිට මාස 9 දක්වා දීර්ඝ කරයි

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීමේ ජාතික වැදගත්කම හඳුනාගත් ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර, වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කර ඇත.

කෙසේ වෙතත්, කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ල හේතුවෙන් බොහෝ ණයලාභීන් අපේක්ෂා කළ පරිදි තම ව්‍යාපාර යථා තත්ත්වයට පත්කර ගැනිමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, ණය ආපසු ගෙවීම සඳහා ණයලාභීන්ට පහසුකම් සැලසීමේ සහ දිරිගැන්වීමේ වැදගත්කම සලකා බැලීමෙන් අනතුරුව, සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ලියාපදිංචි කර ඇති ණය සඳහා අදාළ සහන කාලය, ලිඛිත ඉල්ලීමක් කරනු ලබන ණයලාභීන් සඳහා තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළේය.

ඒ අනුව, මාස 9 ක සහන කාලයක් ලබා ගැනීමට අපේක්ෂා කරන මෙම කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන් අදාළ බැංකුවට ලිඛිත ඉල්ලීමක් කළ යුතුය.

ශ්‍රී ලංකා මහ බැංකුව 'මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා' ප්‍රකාශනය නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා" ප්‍රකාශනය අද දින එළිදක්වන ලදී. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා භාෂා ත්‍රිත්වයෙන් ම බාගත කර ගැනීමට හැකියාව ඇත.*

ආර්ථික ප්‍රවණතා යාවත්කාලීන කිරීමට අමතරව, 2020 ඔක්තෝබර් මස මැද දක්වා ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින්, 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද මැදි කාලීන සාර්ව ආර්ථික රාමුවෙහි යාවත්කාලීන කිරීමක් ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා" තුළින් මෙවර ඉදිරිපත් කර ඇත. මෙම වසරේ වාර්තාව ප්‍රකාශයට පත්වනුයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විවිධාකාර සමාජ ආර්ථික අභියෝග සහ අවිනිශ්චිතතාවලට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින තීරණාත්මක සංධිස්ථානයක දී ය.

Pages