Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ඉන්දියාවේ ඇක්සිස් බැංකුවේ ඉල්ලීම පරිදි ඇක්සිස් බැංකුවේ කොළඹ ශාඛාව වෙත නිකුත් කරන ලද බලපත්‍රය අවලංගු කිරීම

ඉන්දියාවේ ඇක්සිස් බැංකුව විසින් 2019 වසරේදී එම බැංකුවේ ගෝලීය මෙහෙයුම් පිළිබඳව ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණය මත කරන ලද ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, ඇක්සිස් බැංකුවේ කොළඹ ශාඛාව විසින් සිදු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ එම බැංකුව සදහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට නියමයන් හා කොන්දේසි කිහිපයකට යටත්ව අනුමැතිය ලබා දී තිබේ.

ඇක්සිස් බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසි වලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක සෑහීමකට පත්වීමෙන් පසු, බැංකු කටයුතු කරගෙන යාම සඳහා ඇක්සිස් බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 30 දින සිට අවලංගු කරන ලදී.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ දී නො වෙනස්ව සියයට 4හි ම

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.0හි නො වෙනස් ව පැවති අතර, 2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 11.5හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය නමුත්, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 0.9හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 1.3 දක්වා ඉහළ ගියේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් සිය පාර්ශ්වකරුවන් වෙත අඛණ්ඩ ව සේ.අ.අ. ආශ්‍රිත සේවාවන් ලබාදීම සදහා සකසා ඇති විධිවිධාන

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ පවතින දුෂ්කරතා මධ්‍යයේ සිය සේවාවන් අඛණ්ඩ ව සැපයීම සඳහා යොදා ඇති විධිවිධාන පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සිය පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීමට අපේක්ෂා කරයි. ප්‍රතිලාභ ගෙවීම්, දායක මුදල් හා දායක මුදල් විස්තර වාර්තා රැස්කිරීම, වීසා අවැසිතාවන් සඳහා ශේෂ තහවුරු ප්‍රකාශ හා දායක මුදල් විස්තර වාර්තා නිකුත් කිරීම සහ නාම හා ගිණුම් සංශෝධන සේවාවන් පහත සඳහන් පරිදි සපයනු ලැබේ.

අයිසීඅයිසීඅයි බැංකුවේ කොළඹ ශාඛාව වෙත නිකුත් කරන ලද බලපත්‍රය අවලංගු කරයි

ඉන්දියාවේ අයිසීඅයිසීඅයි බැංකුව කළ ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, ශ්‍රී ලංකාවේ අයිසීඅයිසීඅයි බැංකුවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ ඒ සදහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට නියමයන් හා කොන්දේසි කිහිපයකට යටත් ව අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ඔක්තෝබර් 21 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළ අතර, එමගින් දැනට පවත්නා ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කළේ ය.  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසරේ මේ දක්වා කාලය තුළ දී පෙර නො වූ අයුරින් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකයන්ගේ පහළ යෑම මුදල් ම‍ණ්ඩලය විසින්  නිරීක්ෂණය කළ අතර, වෙළෙඳපොළ පොලී අනුපාතික පුළුල් ලෙස පහළ යෑම අඛණ්ඩ ව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමඟින් දැනට පවත්නා අඩු උද්ධමන වාතාවර‍ණය තුළ ආර්ථිකයෙහි ඵලදායි අංශ වෙත අඩු පිරිවැය යටතේ ණය ප්‍රවාහ ගලා යෑම සහතික කෙරෙනු ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ දී ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 6.2හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, 2019 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම හේතුවෙන් ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ දී පැවති සියයට 13.2හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 12.7 දක්වා පහළ ගියේ ය. එසේ වුව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 1.1හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.4 දක්වා ඉහළ ගියේ ය.

Pages