අපනයන ආදායම ඉහළ යෑමේ වේගයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් ඉහළ යෑම හේතුවෙන් 2019 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2020 වසරේ පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟය පුළුල් විය. පාස්කු ඉරු දින ප්‍රහාරවල බලපෑමෙන් අනතුරු ව අපේක්ෂා කළ මට්ටමට වඩා වේගයෙන් යථා තත්ත්වයට පත් වූ සංචාරක කර්මාන්තය, 2020 වසරේ පෙබරවාරි මස අග සිට කොවිඩ්-19 (COVID-19) ව්‍යාප්ත වීම වසංගත තත්ත්වයක් බවට පත්වීමත් සමඟ නැවත බලපෑමට ලක් විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2020 වසරේ පෙබරවාරි මාසයේ දී පෙර වසරට සාපේක්ෂ ව වර්ධනයක් වාර්තා කළ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීම් වාර්තා කළේ ය. 2020 වසරේ මාර්තු මස දෙවන සතිය දක්වා සාපේක්ෂ ලෙස ස්ථාවර ව පැවති ශ්‍රී ලංකා රුපියල, මාර්තු මස අග භාගයේ සිට 2020 වසරේ අප්‍රේල් මස මැද භාගය දක්වා සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූ නමුත් ඉන් පසු ව ස්ථාවර වෙමින් 2020 වසරේ මැයි මස පළමු සතිය තුළ දී සැලකිය යුතු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේ ය. 2020 වසරේ මාර්තු මස සිට කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විශේෂයෙන් ම, භාණ්ඩ අපනයන, සංචාරක කර්මාන්තය, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ විදේශීය ආයෝජන යන අංශ ඇතුළු ව, විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සැලකිය යුතු බලපෑමකට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.