නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 ජූලි මාසයේ දී 54.3ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2017 ජූනි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 1.8කින් පහළ යන ලදී. පසුගිය මාසයට සාපේක්ෂ ව නිෂ්පාදන කටයුතු අඩු වේගයකින් වර්ධනය වීම කෙරෙහි පසුගිය මාසය තුළ එක් රැස් කර ගත් තොග භාවිතය හේතුවෙන් ගැනුම් තොග දර්ශකයේ පහළ යෑම මෙන් ම සේවය හැර යන ශ්‍රමිකයන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා නුපුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීමේ අපහසුතාව හේතුවෙන් සේවා නියුක්ති උප දර්ශකය පහළ යෑම ද බලපාන ලදි. නව ඇණවුම් සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශක අඩු වේගයකින් වර්ධනය වූ අතර නිෂ්පාදන උප දර්ශකය පසුගිය මාසයේ වාර්තා කළ මට්ටමේ ම පැවැතුණි. කෙ සේ වුව ද, සියලු ම උප දර්ශක කඩයිම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදි. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.















