ඉදිරි කාලයේ දී දේශීය පොලී අනුපාතිකවල ඉහළ යෑමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන්නේ යැ යි මෑතක දී පළ වූ මාධ්‍ය වාර්තා කිහිපයක් පිළිබඳ ව ශ්‍රී ලකා මහ බැංකුවේ අවධානය යොමුව ඇත. මෙම වාර්තාවල පොලී අනුපාතික ඉහළ යෑමක් අපේක්ෂා කිරීම සඳහා හේතු වූ සාධක ලෙස සංචිත පහළ යෑම, අපේක්ෂිත මට්ටමට වඩා වූ ඉහළ ආනයන සහ රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළ ඉහළ ගිය පොලී අනුපාතික යනාදිය දක්වා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන පුරෝකථනවලට අනුව, මෑත කාලීන ව වෙළෙඳපොළ පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා නො කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. මතුපිට උද්ධමනය, මූලික උද්ධමනය, උද්ධමන අපේක්ෂා, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය, ණය ප්‍රසාරණය, ආර්ථික කටයුතුවල ප්‍රසාරණය මෙන් ම ජාත්‍යන්තර සංචිත මට්ටමේ මෑත කාලීන වෙනස්වීම්වලට අනුව තාර්කික වෙළෙඳපොළක් පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා කරන්නේ යැ යි සාධාරණීයකරණය කළ නො හැක.
ආහාර උද්ධමනයේ සිදු වූ පහළ යෑමත් සමඟ අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ වේගයකින් මතුපිට උද්ධමනය මැද-තනි අගයක මට්ටමට නැවත ළඟා වී ඇති අතර, ඉල්ලුමෙන් ඇති වන උද්ධමනය පිළිබිඹු කරන දර්ශකයක් වන මූලික උද්ධමනය පහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකා මහ බැංකුවේ උද්ධමන අපේක්ෂා සමීක්ෂණයට අනුව උද්ධමන අපේක්ෂා මධ්‍යස්ථ මට්ටමකට පැමිණ ඇත. උද්ධමන පීඩනයක් ඇති නො කොට සමස්ත ඉල්ලුමේ ඉහළ යෑමක් සඳහා තවදුරටත් අවකාශ ඇති බව පෙන්නුම් කරමින් ආර්ථික වර්ධනය ආර්ථිකයට ළඟා විය හැකි උපරිම මට්ටමට වඩා පහළ අගයක පවතී.
2017 වසර අවසානය වන විට පුළුල් මුදල් ප්‍රසාරණය සහ ණය ප්‍රසාරණය අපේක්ෂිත මට්ටම් දක්වා පහළ ගොස් ඇත. රාජ්‍ය මූල්‍ය අංශය සම්බන්ධ ව ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ රාජ්‍ය ආදායම වැනි ඇතැම් දර්ශකවල වැඩිදියුණු වීමක් පෙන්නුම් කර ඇත.
විදේශීය අංශය සැලකූ විට, නිල විදේශ සංචිත 2016 වසර අවසානයේ පැවැති එක්සත් ජනපද ඩොලර් බිලියන 6.0 හා සාපේක්ෂ ව වර්තමානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 7.9ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. නිල සංචිතවල සංඛ්‍යාත්මක සහ ගුණාත්මක යන දෙ අංශයෙන් ම වර්ධනයක් වාර්තා වී ඇති අතර. ශ්‍රී ලංකා මහ බැංකුව 2017 වසරේ දී දේශීය වෙළෙඳපොළෙන් ශුද්ධ පදනම මත එක්සත් ජනපද ඩොලර් බිලියන 1.7ක් සහ 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 284ක් මිල දී ගෙන ඇත.
මෑත කාලීන ගෝලීය වෙළෙඳපොළ වර්ධනයන් සහ ආර්ථිකමය නො වන සාධක හේතු කොට ගෙන ඇති වූ දේශීය අවිනිශ්චිතතා හේතුවෙන් පෙබරවාරි මාසයේ දී දේශීය වෙළෙඳපොළ තුළ යම් විචලතාවක් ඇති වුව ද, මෙම විචලතාව කෙටි කාලයක් පමණක් පවතිනු ඇතැ යි අපේක්ෂා කෙරේ. විදේශීය විනිමය වෙළෙඳපොළ යළි ස්ථායී මට්ටමකට දැනටමත් ළඟා වී ඇති අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ වූ අවිනිශ්චිතතා සැලකිය යුතු ලෙස පහ ව ගොස් ඇත.
එ සේ හෙයින්, පොලී අනුපාතිකවල අනාගත වෙනස්වීම් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අපේක්ෂා සම්බන්ධ වූ දෝෂ සහගත මාධ්‍ය වාර්තා තුළින් නොමග නො යන ලෙස පොදු මහජනතාවට අවවාද කෙරේ.