ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2017 ඔක්තෝබර් මාසයේ පැවැති සියයට 8.8ට සාපේක්ෂ ව 2017 නොවැම්බර් මාසයේ දී සියයට 8.4ක් දක්වා පහළ ගියේ ය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 7.1 හි සිට 2017 නොවැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා ඉහළ ගියේ ය.
මාසික වෙනස් වීම් සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 124.8 හි සාට 2017 නොවැම්බර් මාසයේ දී දර්ශක අංක 126.4 දක්වා ඉහළ ගියේ ය. සැපයුම් අංශයේ අහිතකර ප්‍රවණතා හේතුවෙන් ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම මෙම මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. පොල්, අමු මිරිස් සහ එළවළුවල මිල ගණන් ඉහළ යෑම ප්රමුඛ විය. කෙ සේ නමුත්, මාළු සහ පලතුරු මිල ගණන් පහළ ගියේ ය. මේ අතර, වෛද්‍ය රසායනාගාර ගාස්තු සහ පුද්ගලික රෝහල් කාමර ගාස්තුවල ඉහළ යෑමක් නිරීක්ෂණය විය.















2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2017 දෙසැම්බර් 13 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පොලීසිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වේ.
පෙර වසරවල දී මෙන් ම, දසවැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සඳහා ලොව පුරා මහ බැංකු, පර්යේෂණ ආයතන සහ නම් දැරූ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් කීර්තිමත් පර්යේෂකයින් රැසක් සහභාගී විය. 