Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

COVID-19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240ක් සඳහා රුපියල් බිලියන 53ක අනුමැතියක්

ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා රජයේ උපදෙස් මත COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 4%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ බලපත්‍රලාභී බැංකු හරහා 'සෞභාග්‍යා COVID-19 පුනරුද සහන' ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර එය  රටෙහි ආර්ථික කටයුතු නැවත නගා සිටුවීමට සහය වනු ඇත. වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු ඕනෑ ම ව්‍යාපාරයක් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය සහන ලබා ගත හැකි ය. මෙම රුපියල් බිලියනයක වාර්ෂික පිරිවැටුමේ සීමාව සංචාරක, අපනයන හා ඒ ආශ්‍රිත සේවාවන් සපයන ව්‍යාපාර සඳහා අදාළ නො වේ.

විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම පිළිබඳ ව පැහැදිලි කිරීමක්

මෑතක දී හඳුන්වා දෙන ලද විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ දී සහ පවත්වා ගෙන යෑමේ දී ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතුවල යෙදෙන බැංකු (බලයලත් වෙළෙඳුන්) අවශ්‍ය නිසි පරීක්ෂා කිරීමේ ක්‍රියාවලි අනුගමනය නො කරන්නේ යැයි බලධාරීන් සහ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ප්‍රකාශ කරන ලද අදහස්/කරුණු ශ්‍රී ලංකා මහ බැංකුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.

විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ 2020.04.08 දිනැති නියෝග නිකුත් කිරීම මගින් කොවිඩ් 19 (Covid – 19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විමසීමෙන් පසු ව ශ්‍රී ලංකා රජය විසින් විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දී තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ජුනි මාසයේ දී තවදුරටත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මැයි මාසයේ පැවති සියයට 4.0හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 3.9 දක්වා පහළ ගිය අතර, 2019 ජුනි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මැයි මාසයේ පැවති සියයට 9.9හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 10.0 දක්වා ඉහළ ගියේ ය. මේ අත‍ර, ආහාර නො වන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මැයි මාසයේ පැවති සියයට 1.6හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 1.4 දක්වා පහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2020 ජුනි මාසයේ දී සියයට 4.7 ක් ලෙස නො වෙනස් ව පැවතුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජුනි මස 26 දින පැවති රැස්වීමේ දී කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට බැංකු විසින් ලබා දෙනු ලබන ණය පහසුකම් කඩිනම් කිරීම සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට තීරණය කළේ ය. දැනට ප්‍රකාශයට පත් කර ඇති රුපියල් බිලියන 150ක සීමාව තුළ 'සෞභාග්‍යා COVID – 19 පුනරුද සහන' ණය යෝජනා ක්‍රමය සහ මුදල් නීති පනතෙහි 83 වන වගන්තියට අනුව මුදල් මණ්ඩලය විසින් අනුමත කළ සහන ණය පහසුකමට සමගාමී ව, 2020 ජුලි 1 වැනිදා සිට මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇත.

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි මුදල් ගෙවීම - දෙවැනි අදියර

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රක්ෂණ වන්දි ගෙවීමේ වැඩසටහනෙහි දෙවැනි අදියර 2020.07.02 වැනි දින සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇත. එම ගෙවීම් එදින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 63ක් මගින් සිදු කෙරෙනු ඇත. මෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමවේදය යටතේ එක් තැන්පත්කරුවෙකු සඳහා ගෙවනු ලබන උපරිම මුදල රුපියල් 600,000/-කි.

මෙම දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමත් සමඟ ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. විසින් ගෙවීම් තහවුරු කරනු ලැබූ අනෙකුත් සියලු ම තැන්පත්කරුවන්ට ගෙවීම් කිරීම 2020.07.02 දින සිට ආරම්භ කරනු ඇත. 

බැංකු නො වන මූල්‍ය ආයතන නියාමනය හා අධීක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශය

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි වු බලපත්‍රලාභී මූල්‍ය සමාගම් කිහිපයක අසාර්ථකත්වය සහ පසු ව බලපත්‍රය අහෝසි කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරූ මාධ්‍ය වාර්තා කිහිපයක් මෑත කාලීන ව නිරීක්ෂණය විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික පරමාර්ථයක් වන මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල ස්ථායිතාව ශක්තිමත් කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය කරනු ලැබේ. අවම ප්‍රාග්ධනය, අවම ද්‍රවශීලතාව සහ ප්‍රතිපාදන වෙන් කිරීම්, කේන්ද්‍රගත වීමේ අවධානම (Concerntration Risk) සහ සාංගමික යහපාලන අවශ්‍යතා (Corporate Governance Requirements) මගින් එම ස්ථායිතාව සහතික කරනු ලැබේ.

Pages