Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 අගෝස්තු

2021 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

2021 අගෝස්තු මාසයේදී COVID-19 වසංගතය නැවත හිස එසවීම හේතුවෙන් රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළ යන ලදී.

COVID-19 වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැන වූ සීමා සමඟ සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 අගෝස්තු මාසයේ දී 46.2ක දර්ශක අගයක් දක්වා පහළ ගියේය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස සිය රාජකාරී කටයුතු අරඹයි

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස 2021 සැප්තැම්බර් 15 වන බදාදා  කොළඹ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ඇරඹුවේය. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙම පත් කිරීම සිදු කරන ලදි. මේ අනුව කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපති වශයෙන් ද කටයුතු කරනු ඇත.

2021 සැප්තැම්බර් 15 වන දින නව පදවියේ වැඩ භාර ගැනීමේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදු කළ ප්‍රකාශය

නැවත වරක් මහ බැංකුවේ නායකත්වය දැරීමට හැකි වීම මා ලද භාග්‍යයක් වන අතර, මෙම වගකීම භාර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ මුදල් ඇමතිතුමා මා කෙරෙහි තබා ඇති විශ්වාසය හා පැහැදීම පිළිබඳව නිහතමානීව සතුටු වෙනවා. අපේ රටේ දහස් ගණන් ජනතාවගෙන් මට ලැබුණු සුබ පැතුම් ද මා බෙහෙවින් අගය කරනවා. 

ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ නොහෙලන බවටත්, ආර්ථිකය අඛණ්ඩව ස්ථායීතාව කරා යොමු කරන බවටත් මා ඒ සියලු දෙනාට ම සහතික වනවා.

එසේම, මහ බැංකුවේ සිටින දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයේ සමීප සහයෝගය මෙන්ම, මා නුදුරේදී ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ද මා අපේක්ෂා කරනවා.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 ජූලි

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූලි මාසයේ දී පුළුල් වීමක් වාර්තා කළේය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මාසය තුළ දී භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගිය නමුත්, ආනයන වියදම වඩා වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය 2021 වසරේ ජූලි මාසයේදී අඛණ්ඩව පස්වනවරටත් පුළුල් විය. 2021 වසරේ ජූනි මාසයේ දී නිරීක්ෂණය වූ ප්‍රවණතාවයට අනුව යමින් ජූලි මාසයේ දී ද විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගිය අතර, සංචාරක ඉපැයීම් ද අවම මට්ටමක පැවතුණි. මේ අතර, ණය සේවාකරණ ගෙවීම් සම්බන්ධයෙන් රට විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන වාර්තාව බිඳ නොහෙළමින්, ශ්‍රී ලංකාව විසින් 2021 වසරේ ජූලි මාසයේ දී එ.ජ. ඩොලර් බිලියන 1.0ක වටිනාකමකින් යුතු වසර 10ක කල්පිරීමක් සහිත වූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව පියවන ලදී. 2021 වසරේ ජූලි මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ විදේශීය ආයෝජන සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ අඛණ්ඩව ශුද්ධ ගෙවීම් වාර්තා කළේය. අන්තර් බැංකු වෙළඳපොළේ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය 2021 වසරේ ජූලි මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණි.

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසි යටතේ, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන/ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි (Letters of Credit) හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි (Documents against Acceptance) ලබාදීමේ කොන්දේසි යටතේ, අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100 per cent cash margin deposit requirement) වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 සැප්තැම්බර් මස 08 වන දින පැවති රැස්විමේදී තිරණය කළේය. ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පැනවීමට ගත් තීරණය, විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට සහය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන නිෂ්පාදන කාණ්ඩවල සාරාංශයක් සමඟ 2019, 2020 සහ 2021 වසරේ මේ දක්වා (තාවකාලික) එසේ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයන්ට යටත් වන සෑම කාණ්ඩයකම ආනයන වියදම් පිළිබඳ තොරතුරු පහත වගුවේ දක්වා ඇත.

කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට ලබා දුන් සහන තවදුරටත් දීර්ඝ කෙරේ

කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණ දී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්,එම බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා මින් පෙර (එනම්, 2021.08.31 දින දක්වා) ලබා දී තිබූ ණය සහන 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (බලපත්‍රලාභී බැංකු) වෙත දැනුම් දෙන ලදී. එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද සමස්ත ප්‍රතිලාභයන්ට වඩා නොඅඩු වන සේ, බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ලබා දීමට සලකා බලන මෙන් බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා සිටී.

Pages