Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනියි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්‍රේල් මස 07 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන් සහ, අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. අඩු උද්ධමන වාතාවරණයක් තුළ සහ මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා මධ්‍යයේ, අඩු පොලී අනුපාතික ව්‍යුහයක්  පවත්වාගෙන යෑම සහ එමගින් ආර්ථිකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වීම සඳහා අඛණ්ඩව සහාය වීම සහතික කිරීම සඳහා මුදල් මණ්ඩලය කැපවී සිටියි.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ රජය විසින් දේශීය බැංකු මගින් ලබා ගත් විදේශීය ව්‍යවහාර මුදලින් නාමනය කරන ලද ණය සඳහා සිදු කළ යුතු ණය සේවාකරණ ගෙවීම් පිළිබඳ සාවද්‍ය පුවත්පත් වාර්තාව

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ රජය විසින් දේශීය බැංකු මගින් ලබා  ගත් විදේශීය ව්‍යවහාර මුදලින් නාමනය කරන ලද ණය සඳහා ආපසු ගෙවිය යුතු මුදල් පියවීම සැලසුම් සහගත ව ප්‍රමාද කිරීම පිළිබඳ සාවද්‍ය සහ සනාථ නො කළ වාර්තාවක් අද එක්තරා පුවත්පතක් ප්‍රකාශයට පත් කොට ඇති බව මහ බැංකුව විසින් කණස්සල්ලෙන් යුතු ව නිරීක්ෂණය කරන ලදී.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 7.9හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 9.6 දක්වා ඉහළ ගියේ ය. එමෙන් ම, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 1.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 1.8 දක්වා ඉහළ ගියේ ය.

චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹෙයි

දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, දෙපාර්ශ්වයේ ම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිත කිරිමට හැකි වන පරිදිත්,  ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹෙන ලදී. මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වේ. 2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක් විය (ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 22.3%).

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ දී ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.7හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ දී පැවති සියයට 5.9හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 6.9 දක්වා ඉහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති සියයට 1.8හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 1.9 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන උපරිම වන්දි මුදල් සීමාව ඉහළ දැමීම

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන උපරිම වන්දි මුදල මෙතෙක් පැවැති රුපියල් 600,000 සීමාවේ සිට රුපියල් 1,100,000 දක්වා රුපියල් 500,000 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු හා මුල්‍ය සමාගම්වල බලපත්‍ර අවලංගු කළ හෝ අත්හිටවූ අවස්ථාවලදී එම ආයතනවල තැන්පතුකරුවන්ට උපරිම සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පසුගිය සමයේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර අවලංගු කරන ලද හෝ අත්හිටුවන ලද සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී (සී. අයි. එෆ්. එල්.), ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් (ටී.එස්. සී. එෆ්. එල්.), ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ් (ටී.කේ.එස්.), ද ෆිනෑන්ස් කොම්පැණි පී.එල්.සී (ටී. එෆ්. සී.), ඊ.ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් (ඊ. ටී. අයි.) සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. (එස්. එෆ්. එස්.) යන මුල්‍ය සමාගම් හයෙහි (06) තැන්පතුකරුවන් සඳහා වන්දි මුදල් ගෙවීමේදී ද මෙම සංශෝධිත සීමාව අදාළ වනු ඇත.

Pages