Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා රජය විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවයි

මුදල් අමාත්‍යාංශයේ (MoF) වෙබ් අඩවියෙහි සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) වෙබ් අඩවියෙහි පළ කර ඇති, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද, 2021 සඳහා වන විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා  සඳහා වන ඉල්ලීම (Request for Proposal (RFP)) පහත දිගු මගින් ලබා ගත හැක.

කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජූලි මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 11.0හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 11.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 3.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 3.5 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 4.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි) වෙන් කිරීම් සහ බංගලාදේශ බැංකුව සමඟ ඇති කරගත් විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වන මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබෙයි

2021 වසරේ අගෝස්තු මාසයේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය වි.ගැ.හි වෙන් කීරීම යටතේ ලැබීමට නියමිත වූ ප්‍රමාණය සහ ශ්‍රී ලංකා මහ බැංකුව හා බංගලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්විපාර්ශවික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වූ මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබුණි.

එ.ජ. ඩොලර් මිලියන 787කට සමාන වි.ගැ.හි වෙන් කිරීමක් ශ්‍රී ලංකාව වෙත ලැබුණු අතර, බංගලාදේශ බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ එ.ජ. ඩොලර් මිලියන 150ක් ලැබුණි.

ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 ජූලි මාසයේ දී ඉහළ යන ලදී

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 6.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 6.8 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තවද, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ දී පැවති සියයට 9.8හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 11.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 2.9හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 3.2 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ජූලි මාසයේ දී සියයට 5.4හි නොවෙනස්ව පැවතුණි.

විදේශ විනිමය ගෙවීම් සඳහා විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතය

ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්/ තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.

විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා නොමැති බවත් එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහජනතාව වෙත මෙයින් දන්වා සිටිමු. කෙසේවෙතත්, ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇති බව නිරීක්ෂණය කරන ලදි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අගෝස්තු මස 18 වැනි දින පැවති රැස්වීමේදී  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය. මීට අමතරව,  බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2021 සැප්තැම්බර් 01 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ  කාලපරිච්ඡේදයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 2.0කින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. වැඩිදියුණු වූ ආර්ථික වර්ධන අපේක්ෂා මධ්‍යයයේ, ආර්ථිකයේ විදේශීය අංශයේ අසමතුලිතතාවන්ට පිළියම් යෙදීමට සහ මැදි කාලීනව අධික උද්ධමන පීඩන ඇතිවීම වැළැක්වීම සඳහා මෙම තීරණ ගනු ලැබීය.

Pages