Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම ප්‍රකාශයට පත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම’ 2021 ඔක්තෝබර් මස 01වන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ලැබේ. මෙම ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේ දී පැවැත්වෙන අතර එම කටයුතු පෙ.ව. 10.00ට ආරම්භ කෙරේ.

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අරමුණින් සහභාගි වීම ආරාධිතයින්ට පමණක් සීමා කර ඇත. කෙසේ වෙතත්, අධිපතිතුමාගේ ඉදිරිපත් කිරීම යූටියුබ් (YouTube) සහ ෆේස්බුක් (Facebook) ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථාව සලසා ඇත.

විදේශීය අංශයේ ස්ථායීතාව සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සඳහා අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීමේ හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ වැදගත්කම

වසංගතයෙන් බලපෑමට ලක් වූ 2020 වසරට සාපේක්ෂ ව, 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳ අපනයන අංශය සැලකිය යුතු වැඩිදියුණු වීමක් පෙන්නුම් කර තිබේ. නවතම රේගු දත්තවලට අනුව, 2020 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 837ක් වූ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍ය අගයට සාපේක්ෂ ව 2021 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වූ මාස අට තුළ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍යය එක්සත් ජනපද ඩොලර් මිලියන 985ක් වූ අතර, 2021 වසරේ ජූනි - අගෝස්තු කාලය තුළ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍යය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,064ක් විය. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල විශාලතම විදේශ විනිමය උපයන්නා (විවිධ නිෂ්පාදනවලින් සමන්විත) වෙළෙඳ භාණ්ඩ අපනයන අංශය වන බැවින් මෙය අගය කළ හැකි ප්‍රවණතාවකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා අතර හමුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් මහතා අතර හමුවක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අද දින 2021.09.24 පැවැත්වුණි. එහි දී ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් උපයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා රජය විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවන කාලය දීර්ඝ කරයි

ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද, 2021 සඳහා වන විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා සඳහා වන ඉල්ලීම (Request for Proposal (RFP)) ඉදිරිපත් කිරීමේ අවසන් දිනය මුදල් අමාත්‍යංශය විසින් දීර්ඝ කර තිබේ. මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියෙහි සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි පළ කර ඇති පහත් දිගු මගින් එය දැනුම් දී ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 අගෝස්තු මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජූලි මාසයේ පැවති සියයට 6.8හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.7 දක්වා සුළු වශයෙන් පහළ ගියේ ය. 2020 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ දී පැවති සියයට 11.0හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 11.1 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 3.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2021 ජූලි  මාසයේ දී පැවති සියයට 5.4හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 5.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙකු පත් කරයි

2021 සැප්තැම්බර් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතුටින් දැනුම් දෙනු ලැබේ.

සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් මූල්‍යය පිළිබඳ වාණිජ විද්‍යාපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාර සංඛ්‍යානය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාව සහ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත. කරුණාරත්න මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධිසාමාජිකත්වය සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය දරයි.

Pages