Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති ‍පොලී අනුපාතික නො වෙනස් ව පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 මැයි මස 10 වැනි දින පැවති රැස්වීමේදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)”, පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මගින් මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ හිතකර වර්ධනය සඳහා පහසුකම් සැලසීමට අරමුණු කෙරේ. 

ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ඉදිරි ගමන පිළිබඳ විශ්වාසය විදේශ ආයෝජකයෝ තහවුරු කරති

මෑත කාලයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව දැඩි අවධානයක් යොමු වී තිබේ. 

මෙ වැනි වාතාවරණයක් තුළ, ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි පවතින සහයෝගයේ ස්වභාවය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් මැන බැලීම යෝග්‍ය වේ. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ මත පදනම් වන මිනුම් දඬු තාර්කික හා යථාර්ථවත් වන අතර මෙ වැනි මිනුම් දඬු ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව ස්වාධීන දර්ශක ලෙස සැලකිය හැකි යි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසර සඳහා වන වාර්ෂික වාර්තාව

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 68 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය  මංගල සමරවීර මහතා වෙත පිළිගන්වන ලදී.

භාණ්ඩාගාර බැඳුම්කර සේවාකරණ ගෙවීම් පිළිබඳ ව පැහැදිලි කිරීමක්

ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේ දිනට පෙර අදාළ ගෙවීම් සිදු කිරීමට නො හැකි බව ඉස්මතු කර පෙන්වන සාවද්‍ය මාධ්‍ය වාර්තා පළ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත.

ඉහත සඳහන් මාධ්‍ය වාර්තා නිරවද්‍යතාවෙන් තොර බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන අතර, රජයේ දේශීය සහ විදේශීය ණය සේවාකරණ ගෙවීම් නියමිත පරිදි අඛණ්ඩ ව සිදු කිරීම මගින් ඉතා යහපත් වාර්තාවක් පවත්වා ගෙන යන බව ද අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජිත කාර්යයක් වශයෙන් රජය වෙනුවෙන් රාජ්‍ය ණය කළමණාකරණය  සිදු කරමින් නියමිත ක්‍රියා පටිපාටීන්ට අනුව කල් පිරෙන දිනට පෙර නො ව, කල් පිරෙන දිනයේ දී අදාළ පොලී සහ ණය ආපසු ගෙවීම් සිදු කර ඇත.

2018 මාර්තු මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2017 නොවැම්බර් මස සිට අඛණ්ඩ ව පහළ යන නැඹුරුවක් පෙන්නුම් කළේ ය. ඒ අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.2ට සාපේක්ෂ ව 2016 අප්‍රේල් මස සිට වාර්තා වූ අඩු ම අගය වන සියයට 2.8ක් දක්වා 2018 මාර්තු මාසයේ දී පහළ ගියේ ය. 2018 මාර්තු මාසයේ දී පැවති සතුටුදායක සැපයුම් තත්ත්ව හේතුවෙන් ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම 2018 මාර්තු මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම සැලකිය යුතු පහළ යෑමට හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 7.2 සිට 2018 මාර්තු මාසයේ දී  සියයට 6.7 දක්වා පහළ ගියේ ය.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමේ සිව්වැනි සමාලෝචනය පිළිබඳ ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි

කොළඹ දී  සහ වොෂින්ටන් නුවර පැවැති වසන්ත සෘතුවේ රැස්වීම් අතරතුර දී බලධාරීන් සමඟ සිදු කළ සාධනීය සාකච්ඡාවලින් අනතුරු ව ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසේ ප්‍රධානී මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මිය විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායම, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එකඟතාවකට එළැඹියේ ය. බලධාරීන් විසින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සාර්ථක ව තවදුරටත් පවත්වාගෙන යෑම සහ ජාත්‍යන්තර සංචිත ශක්තිමත් කිරීම මගින් වැඩසටහන යටතේ දෙසැම්බර් මස අවසානය සඳහා පැවති සියලු ම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සපුරා ගන්නා ලදී. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආහාර මිල ගණන් ඉහළ යෑම හමුවේ උද්ධමනය, දෙසැම්බර් මාසය සඳහා වූ ඇතුළත සීමාවේ ඉහළ ම අගය ඉක්මවුව ද, එතැන් සිට නැවතත් ඇතුළත සීමාව තුළට පැමිණ ඇත. ඇතැම් ප්‍රමාදයන් හමුවේ වුව ද, සම්පූර්ණ කිරීමට ඇති සියලු ම ව්‍යූහාත්මක නිර්ණායක ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරීහු පියවර ගනිමින් සිටිති.”

Pages