Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 මාර්තු

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 55.6ක දර්ශක අගයට සාපේක්ෂ ව, මාර්තු මාසයේ දී මාස 12කින් වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කරමින්, 65.6ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙ මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර එය පසුගිය වසරවල පැවැති ප්‍රවණතාවන්ට ද අනුකූල විය. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑම කෙරෙහි, නව ඇණවුම් සහ නිෂ්පාදන උපදර්ශකයන්හි ඉහළ යෑම මගින් ද පෙන්නුම් කළ පරිදි, උත්සව සමයේ ඇති වන ඉල්ලුමේ වර්ධනය හේතු විය. ගැනුම් තොග සහ සේවා නියුක්තිය යන උප දර්ශක ද පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ ගියේ ය. තව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ඉහළ යෑම ද, සමස්ථ දර්ශකයේ ඉහළ යෑම සඳහා ධනාත්මක ව බලපෑවේ ය. කෙ සේ වුව ද, බොහොමයක් ප්‍රතිචාර දක්වන්නන්, විශේෂයෙන් ම රෙදිපිළි සහ නිමි ඇඳුම් අංශයේ, පුහුණු සහ නුපුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීම අපහසු කටයුත්තක් බව සඳහන් කළේ ය. එ සේ වුව ද, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උපදර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරමින්, 2018 මාර්තු මාසයේ දී සමස්තයක් ලෙස නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කළේ ය.

ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල් භාවිතය පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමයි

ශ්‍රී ලංකාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් අතථ්‍ය මුදල් (Virtual Currencies)  පිළිබඳ ව තිබෙන උනන්දුව වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇත. 

ඩිජිටල් තාක්ෂණය යොදා පෞද්ගලික ව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකවලට “අතථ්‍ය මුදල්” යන යෙදුම පොදුවේ භාවිත වන අතර ඒවාට ආවේණික ගිණුම් ඒකක ද ඇත. අතථ්‍ය මුදල් සඳහා පොදු උදාහරණ වන්නේ බිට්කොයින්  (Bitcoin),  ලයිට්කොයින් (Litecoin) සහ එතීරියම් (Ethereum) වැනි අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ය. මෙම අතථ්‍ය මුදල් මහ බැංකු විසින් නිකුත් කරන ලද මුදල් නො වේ. 

පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම පිළිබඳ මාධ්‍ය නිවේදනය

2018 අප්‍රේල් මස 12 වැනි බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තු සැසිවාරය කල් දමා ඇත. මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය 2018 මැයි මස 8 වැනි දින ආරම්භ වේ. මෙම කාල සීමාව තුළ යෝජනා හෝ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ සභාගත කළ නො හැකි අතර පාර්ලිමේන්තුව මගින් කලින් ගන්නා ලද ක්‍රියාමාර්ග වලංගු ව පවතී. පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම රජයේ ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් කෙරෙහි කිසිදු බලපෑමක් නැත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය - එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව

එක්සත් ජනපද ඩොලර් බැඳුම්කර වෙළෙඳපොළ වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී  ජනරජය (“ශ්‍රී ලංකාව”) වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව (“ශ්‍රී ල ම බැ”), වසර 5ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර්  බිලියන 1.25ක් හා වසර 10ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර්  බිලියන 1.25ක ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත පත්‍රිකා (පත්‍රිකා), අනුපිළිවෙළින් 2023 අප්‍රේල් 18 සහ 2028 අප්‍රේල් 18 යන කල් පිරීම් දින සහිත ව 2018 අප්‍රේල් 11 වන දින නිකුත් කළේ ය. මෙම පත්‍රිකා සඳහා මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් (Moody’s Investors Service), ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poor’s) සහ ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) යන ආයතන මගින් පිළිවෙළින් 'B 1', 'B +' සහ 'B +' යන ශ්‍රේණිගත කිරීම් ලබා දුන්නේ ය.

2018 ජනවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2018 ජනවාරි මාසයේ දී වෙළඳ හිඟය පුළුල් වීම හමුවේ වුව ද, මූල්‍ය ගිණුමේ ලැබීම් ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ වර්ධනයක් පිළිබිඹු විය.  මාසය තුළ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම  ඉහළ ගිය ද අපනයන ආදායමේ ඉහළ යෑමට වඩා වැඩියෙන් ආනයන වියදම ද  සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. කෙ සේ වුව ද, පසුගිය වසරේ පැවති මධ්‍යස්ථ ප්‍රවණතාවයේ වෙනසක් ඇති කරමින් 2018 වසරේ ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේ ය. 2017 වසරේ දී  අඩු වීමක් වාර්තා කළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව 2018 වසරේ ජනවාරි මාසයේ දී සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේ ය. මේ අතර රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ හා කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන හේතුවෙන් 2018 වසරේ ජනවාරි මාසයේ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත අඛණ්ඩ ව ඉහළ ලැබීම් ප්‍රමාණයක් වාර්තා විය. 2018 වසරේ ජනවාරි මස අවසානය වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.3කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 7.7ක් විය.

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2018 අංක 2

උද්ධමනයෙහි සහ උද්ධමන අපේක්ෂාවන්හි හිතකර වර්ධනයන් මෙන් ම, ආර්ථිකයට ළඟා විය හැකි උපරිම වර්ධන මට්ටම සහ පවත්නා වර්ධන මට්ටම අතර පරතරය පුළුල් කිරීමට හේතු වූ සාපේක්ෂ ව අඩු මූර්ත දළ චේශීය නිෂ්පාදිතයේ වර්ධනය පිළිබඳ අවධානය යොමු කරමින් 2018 අප්‍රේල් මස 3 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව වන නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේ ය. මෑතක දී දේශීය වෙළෙඳපොළ තුළ දක්නට ලැබුණු පොලී අනුපාතිකවල විචලනය අඩු කිරීමට ද, මෙම තීරණය හේතු වනු ඇතැ යි අපේක්ෂිත ය. 

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අඩු කිරීම සඳහා මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණය පහත සඳහන් සාර්ව ආර්ථික වර්ධනයන් මත පදනම් වේ. 

Pages