2020 ජනවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් වර්ධනයක් පෙන්නුම් කරමින්, දර්ශක අගය 54.0 ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම් වල සිදුවූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු විය.
නව ඇණවුම්, නිෂ්පාදන සහ තොග මිලදී ගැනුම් යන උප දර්ශක අඩු වේගයකින් ඉහළ යාම කෙරෙහි විශේෂයෙන්ම, උත්සව සමය නිමාවීමත් සමග ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි පැවති ඉල්ලුම පහළ යාම ප්‍රධාන වශයෙන් හේතු විය. තවද, චීන නව අවුරුදු නිවාඩුව හේතුවෙන් රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි තොග මිලදී ගැනුම් වර්ධනය මන්දගාමී වූ බව නිරීක්ෂණය කළ හැකි විය. වඩා හොඳ රැකියා අවස්ථා සඳහා සමහර සේවකයින් සේවය හැර යාම, සේවා නියුක්තියෙහි පහළ යාම කෙරෙහි හේතු විය.