Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2019 දෙසැම්බර් මාසයේ දී උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2018 දෙසැම්බර් මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 4.0 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 8.6 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2ක් ලෙස නො වෙනස් ව පැවතුණි. 

වෝහාරික විගණනයන්

වෝහාරික විගණනයන් පිළිබඳව මාධ්‍ය තුළ පළ වූ සමහර සාවද්‍ය තොරතුරු හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් පහත කරුණු ඉදිරිපත් කරනු ලැබේ.

2019 නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

ආනයන සහ අපනයන අඩු වීම සමඟ 2019 නොවැම්බර් මාසයේදී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට  සාපේක්ෂව සුළු වශයෙන් අඩු විය. ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩු වීම හා අපනයන ආදායම සුළු වශයෙන්  වැඩි වීම හේතුවෙන් 2019 වසරේ පළමු මාස එකොළහ තුළදී වෙළඳ හිඟය 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඩු විය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2019 වසරේ නොවැම්බර් මාසයේදී සංචාරක පැමිණීම්වල පහළ යෑමක් වාර්තා වුවද, සංචාරක කර්මාන්තය අඛණ්ඩව යථා තත්ත්වයට පත් ‌වෙමින් පවතී. 2019 වසරේ නොවැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඩු වූ අතර, 2019 වසරේ පළමු මාස එකොළහ තුළදී සමුච්චිත පදනම මතද අඩු වීමක් වාර්තා කළේය. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජ.මු.අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනෙහි හත්වන වාරිකය ලැබීමත්, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත විදේශීය ශුද්ධ ලැබීම් වාර්තා වීමත් සමඟ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම ශක්තිමත් විය. කෙසේ වෙතත්, මෙම මාසය තුළදී කොළඹ කොටස් වෙළඳපොළ වෙතින්  ශුද්ධ ගෙවීමක් වාර්තා විය. 2019 වසරේදී සහ 2020 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 දෙසැම්බර්

2019 දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශක අගය 54.3ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තියේ සිදු වූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් ම හේතු විය.

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක 2019 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වුව ද වර්ධනයක් පෙන්නුම් කළේ ය. නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක අඩු වේගයකින් ඉහළ යාම කෙරෙහි රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි දක්නට ලැබුණු මන්දගාමී වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු විය. උත්සව සමයේ වඩා හොඳ වැටුප් සහිත තාවකාලික රැකියා සඳහා සමහර සේවකයින් යොමු වීම, විශේෂයෙන් ම රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි රැකියා නියුක්තියේ සැළකිය යුතු අඩු වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. නිෂ්පාදනයේ අඩු වර්ධනය කෙරෙහි ද මෙම සේවා නියුක්තියේ දක්නට ලැබුණු මන්දගාමීත්වය යම් දුරකට බලපා ඇත.

පෙර දැක්ම - 2020 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති

වර්තමානයේදී, ශ්‍රි ලංකා ආර්ථිකය පවතිනුයේ තීරණාත්මක සන්ධිස්ථානයකය. ස්වෛරී රාජ්‍යයක් ලෙස දශක ගණනාවක් පුරා සිදු කළ ප්‍රතිපත්ති සම්පාදනය තුළින් ආර්ථිකයේ බොහෝ අංශ ප්‍රගතියක් ලබාගෙන ඇත. සාමාජීය වශයෙන් ගත් කල කැපී පෙනෙන අභිවෘද්ධියක් ළඟා කරගෙන ඇත. කෙසේ වුවත්, විභව මට්ටමට වඩා අඩු ආර්ථික වර්ධනය, යම් ප්‍රදේශ හා ජන කොටස්වලට සීමා වූ ඉහළ දරිද්‍රතාවය දිගින් දිගටම පැවතීම, ඵලදායී සම්පත් ඌන උපයෝජනය, අපනයනවල වර්ධනය සහ විවිධාංගීකරණය ප්‍රමාණවත් නොවීම, ණය නොවන ප්‍රාග්ධන ලැබීම්වල හිඟතාව, විශාල ණය සහ පොලී අනුපාතික කාලපරිච්ඡේද සහ ඉහළ රාජ්‍ය මුල්‍ය හිඟයන් හා රාජ්‍ය ණය මට්ටම් යනාදිය ආර්ථිකයේ දැඩි අභියෝග ලෙස පවතී. ඉහළ සහ තිරසාර වර්ධන මාවතකට ආර්ථිකය රැගෙන යෑම සඳහා ප්‍රතිපත්තිමය සහ ප්‍රතිපත්තිමය නොවන සාධකවල ප්‍රතිඵලයක් වූ මෙම අභියෝගයන්ට තීරණාත්මක ලෙස මුහුණ දීම අත්‍යවශ්‍ය වේ. එවැනි ඉහළ ආර්ථික වර්ධනයක ප්‍රතිලාභ සමාජය පුරා සාධාරණව බෙදා හැරීම සහ සියලු දෙනාට අවස්ථා විවර කිරීම අත්‍යවශ්‍ය වන අතර, එය ආදායම්වල සහ අවස්ථාවල සාධාරණ ව්‍යාප්තියක් ද සමඟ ශ්‍රී ලංකාව වඩාත් සෞභාග්‍යමත්, සතුටුදායක හා තෘප්තිමත් දේශයක් බවට පත් කිරීමට හේතු වනු ඇත. එවැනි ප්‍රතිඵලයක් සඳහා නවමු අදහස් ඇසුරින් සැකසෙන නව්‍ය ප්‍රතිපත්ති අවශ්‍ය වේ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරයි

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම 2020 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

Pages