Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳව පළමු සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් කරමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට විදේශ ගැනුම් හිමිකම් මිලියන 254ක (එ.ජ ඩොලර් මිලියන 330 ක් පමණ) මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවෙනු ඇත.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ එල දැරීමට පටන් ගෙන ඇති අතර ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කරයි. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව තිරසාරව පවත්වා ගැනීම සහ පාලන දුර්වලතා සහ වංචා හා දූෂණ සඳහා විසඳුම් ලබාදීම, කල් පවත්නා ආර්ථික යථාතත්ත්වයට පත් වීමක් සහ ස්ථාවර මෙන්ම සැමට ප්‍රතිලාභ සැලසෙන වර්ධන මාවතක් කරා ආර්ථිකය ගෙන ඒම සඳහා ඉතා වැදගත් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා (i) බලධාරීන් විසින් සියලුම පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම; සහ (ii) මූල්‍ය සහතික සමාලෝචන අවසන් කිරීම අවශ්‍ය වේ.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2023 අප්‍රේල් 01 සිට 2023 සැප්තැම්බර් 26 දින දක්වා කාලපරිච්ඡේදය තුළ පරිපාලනමය දණ්ඩන පැනවීම/එකතු කිරීම

2006 අ൦ක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සදහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදු කරනු ලබන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, ශ්‍රී ල൦කාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2023 අප්‍රේල් 01 සිට 2023 සැප්තැම්බර් 26 දින දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 1.7 කි. දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - සැප්තැම්බර් 2023

2023 සැප්තැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් ද සේවා ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් ද පෙන්නුම් කරන ලදී.

ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 සැප්තැම්බර් මාසයේදී දර්ශකාංක 45.7ක අගයක් වාර්තා කරමින්  නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පහත වැටිමක් පිළිඹිබු කරන ලදී. මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ පසුබැස්ම හේතු විය.  

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2023 අගෝස්තු මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්හි අඩු වේගයක වර්ධනයක් පෙන්නුම් කරමින්, 2023 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 54.7ක් වාර්තා කළේය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, 2023 සැප්තැම්බර් මාසය තුළ දී නිමකිරීමට නියමිත කාර්යයන් 2023 අගෝස්තු මාසයට සාපේක්ෂව පහළ යමින් අඩු අගයක පැවතුනි.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් පළමු මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය 2023 ඔක්තෝබර් 04 දින පවත්වන ලදී. මෙම සමාලෝචනයේදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 10.00 සහ සියයට 11.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළේය. මැදි කාලීනව උද්ධමනය අපේක්ෂිත සියයට 5 මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ආර්ථිකය එහි විභව වර්ධන වේගය කරා ළඟා වීමට අනුබල දීමේ අරමුණින්, දේශීය ආර්ථිකයේ අඩු උද්ධමනය සහ යහපත් උද්ධමන අපේක්ෂා ඇතුළු වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල මෙම අඩු කිරීමත් සමග, මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත පොලී අනුපාතික අඩු කිරීම සඳහා නිකුත් කරන ලද නියාමන ක්‍රියාමාර්ග සහ රජයේ සුරැකුම්පත්වල අවදානම් අධිමිල සැලකිය යුතු ලෙස අඩු වීම ඇතුළුව, මින් පෙර ක්‍රියාත්මක වූ සැලකිය යුතු මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම් හේතුවෙන්, ඉදිරි කාලයේදී වෙළඳපොළ පොලී අනුපාතිකවල, විශේෂයෙන්ම ණය පොලී අනුපාතිකවල, පහළ යෑම වේගවත්වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අපේක්ෂා කරයි. අඛණ්ඩව මුදල් තත්ත්වයන් ලිහිල් කිරීමේ ප‍්‍රතිලාභ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ප‍්‍රමාණවත් ලෙස සහ කඩිනම් ලෙස ලබා දෙන ලෙස මූල්‍ය අංශයෙන් ඉල්ලා සිටින අතර, එමඟින් ආර්ථිකය අපේක්ෂිත පරිදි යථා තත්ත්වය පත් වීම සඳහා සහාය වනු ඇත.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 අගෝස්තු

2023 වසරේ අගෝස්තු මාසයේ දී ආනයන වියදමෙහි අඩු වීමට සාපේක්ෂව අපනයන ආදායමෙහි අඩු වීම ඉහළ යෑම හේතුවෙන් වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව වෙළඳ හිඟය ඉහළ ගියේය. කෙසේ වෙතත්, 2023 වසරේ ජූලි මාසයට සාපේක්ෂව අපනයන ආදායම සහ ආනයන වියදම යන දෙඅංශයම ඉහළ ගියේය.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් යන දෙඅංශයම 2023 වසරේ අගෝස්තු මාසයේ දී පෙර වසරට සාපේක්‍ෂව කැපී පෙනෙන දියුණුවක් වාර්තා කරන ලදී.

2023 වසරේ අගෝස්තු මාසයේ දී, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත විදේශ ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

2023 වසරේ අගෝස්තු මාසය අවසාන වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3.6ක් ලෙස වාර්තා විය.

2023 වසරේ අගෝස්තු මාසයේදී එ.ජ. ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල පුළුල් ලෙස ස්ථාවරව පැවතුණි.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 සැප්තැම්බර් මාසයේ දී කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

අඛණ්ඩව තෙවන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර අවධමනයක් වාර්තා වූ අතර, එය 2023 අගෝස්තු මාසයේ පැවති සියයට 4.8ට සාපේක්ෂව 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.2ක් විය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2023 අගෝස්තු මාසයේ පැවති සියයට 8.7හි සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා තවදුරටත් පහළ ගියේය. 2023 සැප්තැම්බර් මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, සියයට 0.88ක් ලෙස වාර්තා විය. මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතමවල මිල ගණන් මාසිකව ඉහළ යෑම වන අතර, එම දායකත්වය පිළිවෙලින්, සියයට 0.18 ක් සහ සියයට 0.70ක් විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 අගෝස්තු මාසයේ පැවති සියයට 4.6හි සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.9 දක්වා පහළ ගියේය.

Pages