Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - දෙසැම්බර් 2023

2023 දෙසැම්බර් මාසයේ දී, ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 48.6ක අගයක් වාර්තා කරන ලදී. ඒ අනුව, පසුගිය මාසයට සාපේක්ෂව ඉදිකිරීම් කටයුතු අඩු වේගයකින් පහත වැටීමක් පෙන්නුම් කෙරේ. මෙසේ ඉදිකිරීම් ක්‍රියාකාරකම් පහත වැටීම සඳහා ව්‍යාපෘති තවදුරටත් අඩු මට්ටමක පැවතීම හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

පෙර මාසයට ආසන්න වේගයකින් දෙසැම්බර් මාසයේදී නව ඇණවුම් පහත වැටීමක් වාර්තා විය. මේ වන විට සිය සමාගම් විදේශ අරමුදල් මගින් සිදු කරනු ලබන ඉදිකිරීම් ව්‍යාපෘති මත දැඩි සේ රඳා පවතින බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහොමයක් දෙනා සඳහන් කළහ. එමෙන්ම, ව්‍යාපෘති අවසන් වීමට සමගාමීව සේවා නියුක්තිය ද පහත වැටුණි. දැනට ක්‍රියාත්මක ඉදිකිරීම් කටයුතු මෙන්ම ඉදිරි ව්‍යාපෘති ද අඩු මට්ටමක පවතින බැවින් තොග මිලදී ගැනීම් ප්‍රමාණය ද අඩු විය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළදී ද ඉහළ අගයක පැවතුණි.

ඉදිරි ව්‍යාපෘති අඩු මට්ටමක පැවතීම සහ සිදුකරන ලද බදු සංශෝධන සමග මිල මට්ටම් ඉහල යෑම හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා වන අපේක්ෂා අඩු මට්ටමක පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 ජනවාරි මස 22 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 9.00 සහ සියයට 10.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. නුදුරු කාලීනව උද්ධමනය ඉහළ යෑම සඳහා පීඩන ඇති කළ හැකි බදුකරණයේ සහ සැපයුම් අංශයේ සාධකවල මෑත කාලීන ප්‍රවණතාවන්හි බලපෑම පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කළේය. කෙසේ වෙතත්, එම මෑත කාලීන ප්‍රවණතාවල බලපෑම මගින් මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්මෙහි සැලකිය යුතු වෙනස්කමක් සිදු නොවනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. තවද, පෙර ක්‍රියාත්මක කරනු ලැබූ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග මෙන්ම රජයේ සුරැකුම්පත් හා සම්බන්ධ අවදානම් අධිමිල පහළ යෑම හේතුවෙන් වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වීම සඳහා ඇති අවකාශය පිළිබඳ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කළේය. වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිලාභ මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර හා පුද්ගලයන් වෙත ප්‍රමාණවත් ලෙස හා කඩිනමින් ලබා දිය යුතු බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි

මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා. මූ. අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකම යටතේ වන ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජා. මූ. අරමුදලේ දූත කණ්ඩායමක් 2024 වසරේ ජනවාරි 11 සිට 19 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුනි. දූත මෙහෙය අවසානයේදී ජා. මූ. අරමුදල විසින් 2024 ජනවාරි 19වන දින පහත දැක්වෙන මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැකිය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - දෙසැම්බර් 2023

නිෂ්පාදන සහ සේවා අංශවල ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක 2023 දෙසැම්බර් මාසයේ දී ඉහළ ගියේ ය

නිෂ්පාදන ක්‍රියාකාරකම්හි වර්ධනයක් පිළිබිඹු  කරමින්, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 දෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 52.7 ක් ලෙස වාර්තා කරන ලදී.  මෙම වර්ධනය සඳහා සේවා නියුක්තිය උප-දර්ශකය හැර අනෙකුත් සියලුම  උප-දර්ශකයන්ගේ දක්නට ලැබුණු ඉහළ යෑම හේතු විය.

වා ක්‍රියාකාරකම්හි වර්ධනයක් පෙන්නුම් කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2023 දෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 58.9ක් වාර්තා කළේය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. 

සම්පූර්ණ ලිපිය

 

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී ඉහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 නොවැම්බර් මාසයේ වාර්තා වූ සියයට 3.4හි සිට 2023 දෙසැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, 2023 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා  සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

මාස පහක් පුරා අඛණ්ඩව වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර අවධමනයක් වාර්තා වීමෙන් අනතුරුව, 2023 දෙසැම්බර් මාසයේ දී ආහාර උද්ධමනයක් වාර්තා වූ අතර, එය 2023 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 3.6 අවධමනයට සාපේක්ෂව සියයට 0.3 උද්ධමනයක් විය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.8හි සිට 2023 දෙසැම්බර් මාසයේ දී සියයට 5.8 දක්වා පහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 1.16ක මිල ඉහළ යෑමේ සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.27ක මිල පහළ යෑමේ ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2023 දෙසැම්බර් මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට 0.89ක් ලෙස වාර්තා විය.  තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 නොවැම්බර් මාසයේ පැවති සියයට 0.8හි සිට 2023 දෙසැම්බර් මාසයේ දී සියයට 0.6 දක්වා පහළ ගියේය. 

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉදිකිරීම් – 2023 නොවැම්බර්

ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පිළිබිඹු කරමින් ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය නොවැම්බර් මාසයේදී 44.3ක අගයක් වාර්තා කරන ලදී. නව ව්‍යාපෘති අඩු මට්ටමක පැවතීම සහ දැනට ක්‍රියාත්මක  ව්‍යාපෘතිවලට අදාළ කටයුතු අවසන් අදියරේ පැවතීම සමස්ත ක්‍රියාකාරකම් අඩු වීමට හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

පෙර මාසයට සාපේකෂව නොවැම්බර් මාසයේදී නව ඇණවුම් පහත වැටීමක් වාර්තා කරන ලදී. කෙසේ වුවද, ඉදිරි වසරේ මුල් භාගය වන විට, විශේෂයෙන් රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වීමට නියමිත නව ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් ප්‍රදානය කෙරෙනු ඇතැයි සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහොමයක් දෙනා අපේක්ෂා කරති. වත්මන් වාතාවරණය තුළ අවම සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යාමට සමාගම් කටයුතු කරන බැවින් සේවා නියුක්තිය අඛණ්ඩව පහත වැටුණි. තවද, ඉදිකිරීම් කටයුතුවල පහත වැටීමත් සමඟ, තොග මිලදී ගැනීම් ප්‍රමාණය ද අඩු විය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළදී ද ඉහළ අගයක පැවතුණි.

Pages