Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 නොවැම්බර්

2023 වසරේ නොවැම්බර් මාසයේ දී වෙළඳ හිඟය, අපනයන ආදායමෙහි ඉහළ යෑම සහ ආනයන වියදමෙහි පහළ යෑමෙහි ඒකාබද්ධ බලපෑම හේතුවෙන් වසරකට පෙර පැවති අගයට සහ 2023 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව පහළ ගියේය. 2022 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු පළමු වරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අපනයන ආදායමෙහි වර්ධනයක් වාර්තා විය.

විදේශ සේවා නියුක්තිකයන්ගේ මාසික ප්‍රේෂණ අඛණ්ඩව එ.ජ. ඩොලර් මිලියන 500 අගය ඉක්මවමින් 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2023 වසරේ නොවැම්බර් මාසයේ දී සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය.

සංචාරක ඉපැයීම් ඉහළ යාම සඳහා දායක වෙමින් උත්සව සමය තුළ දී සංචාරක පැමිණීම් ඉහළ ගියේය.

2023 වසරේ ජූලි මාසයේ සිට රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන අඛණ්ඩව ශුද්ධ ගෙවීමක් වාර්තා කළ ද, 2023 වසර තුළ සමුච්චිත පදනම මත ශුද්ධ ලැබීම් වාර්තා කර ඇත.

2023 වසරේ නොවැම්බර් මාසය අවසාන වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3.6ක් විය.

2023 වසරේ නොවැම්බර් මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ස්ථාවරව පැවතුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කරයි

2023 වසරේ සැප්තැම්බර් මස අවසානය දක්වා වූ දත්ත ආවරණය කරමින් සම්පාදනය කර ඇති  2023 වසරේ මූල්‍ය ස්ථායීතා විවරණය තුළ මූල්‍ය පද්ධතියෙහි වර්ධනයන්, හඳුනාගනු ලැබූ අවදානම් හා දුර්වලතා සහ එවැනි අවදානම් අවම කිරීම සඳහා මහ බැංකුව සහ අනෙකුත් නියාමන ආයතන විසින් සලකා බලනු ලබන කාල සීමාව තුළ ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඇතුළත් වේ. මෙම ප්‍රකාශනයේ විද්‍යුත් පිටපතක් මහ බැංකු වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක. 

2023 වසරේ මූල්‍ය ස්ථායීතා විවරණයේ සාරාංශයක් සහ මූල්‍ය ස්ථායීතාව පිළිබඳ ඉදිරි දැක්ම පහතින් දැක්වේ:  

පළාත් දළ දේශීය නිෂ්පාදිතය (ප.ද.දේ.නි.) - 2022

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය සඳහා බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත් 2022 වසරේ දී ද ප්‍රමුඛ දායකත්වය ලබා දී ඇත. 

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා ලබා දෙන දායකත්වය වඩාත් සවිමත් කරගනිමින්, බස්නාහිර පළාත විසින් නාමික ද.දේ.නි. සඳහා දක්වන දායකත්වය 2022 වසරේ දී සියයට 43.4ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය. බස්නාහිර පළාතේ මෙම ඉහළ දායකත්වය බොහෝ ආර්ථික කටයුතු තුළින් දක්නට ලැබුණු අතර, සේවා සහ කර්මාන්ත අංශ තුළ විශේෂයෙන් කැපී පෙනුණි. තවද, සමස්ත ද.දේ.නි. සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්වයන් අනුපිළිවෙළින් වයඹ (සියයට 11.2) සහ මධ්‍යම (සියයට 10.0) පළාත් විසින් ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - නොවැම්බර් 2023

නිෂ්පාදන සහ සේවා අංශවල ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක 2023 නොවැම්බර් මාසයේ දී ඉහළ ගියේය

2023 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 57.0 ක් දක්වා ඉහළ යන ලද අතර, මෙමගින්  සෑම වසරකම පාහේ උත්සව සමය තුළ ආර්ථික කටයුතු ඉහළ යෑම මගින් ඇතිවෙන බලපෑම පිළිඹිබු කෙරේ. 2023 මාර්තු මාසයෙන් පසු ප්‍රථම වරට නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය මෙම මාසයේ දී කඩඉම් මට්ටම ඉක්මවා ගිය අතර, ඒ සඳහා සියලුම උප-දර්ශකවල දායකත්වය හේතු විය. 

සේවා ක්‍රියාකාරකම්හි වේගවත් වර්ධනයක් පෙන්නුම් කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2023 නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 59.4ක් වාර්තා කළේය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමග පවතින විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ පළමු සමාලෝචනය සම්පුර්ණ කරයි

ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ පළමු සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 337ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවිය.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සතුටුදායක විය. එක් කාර්ය සාධන නිර්ණායකයක් හැර අනෙකුත් සියලුම නිර්ණායක මෙන්ම, එක් දර්ශක ඉලක්කයක් හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක ද ජූනි මස අවසානයේ දී සපුරා ගන්නා ලදී. 2023 ඔක්තෝබර් මස අග වන විට ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. ජා.මූ. අරමුදලේ  පාලන නිර්ණය පිලිබඳ ක්‍රියාවලිය සිදුකළ පළමු ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්වෙමින්, බලධාරීන් විසින් පාලන නිර්ණ වාර්තාව ප්‍රකාශයට පත් කරන ලදී. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, 2023 නොවැම්බර් 29 වැනි දින හොංකොං හි පැවති මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි ආසියා කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීමේ සම සභාපතිත්වය දැරීය

මූල්‍ය ස්ථායීතා මණ්ඩල (FSB) ආසියා කලාපීය උපදේශක කණ්ඩායම (RCG Asia) 2023 නොවැම්බර් 29 දින හොංකොං හි !~දී රැස් වූ අතර මෑත කාලීන මූල්‍ය වෙළෙඳපොළ ප්‍රවණතා සහ කලාපයට ඒවායේ බලපෑම, බැංකු නොවන මූල්‍ය අතරමැදිකරණය නිසා ඇතිවන අවදානම් පිළිබඳව සාකච්ඡා කළහ. ඇතැම් නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් (EMDEs) තුළ ස්වෛරී-බැංකු සම්බන්ධය (sovereign bank nexus) ගැඹුරු වීම සහ අතත්‍ය (crypto) වත්කම් ආශ්‍රිත අවදානම් ඵලදායී නියාමනය සහ අධීක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම, සාමාජිකයින් මෙම අවදානම් හඳුනාගැනීම, අධීක්ෂණය සහ පිළියම් යෙදීම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් බෙදාගත් අතර මූල්‍ය පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම කෙරෙහි මූල්‍ය ස්ථායීතා මණ්ඩලයේ අඛණ්ඩ අවධානයෙහි ඇති වැදගත්කම ද සාකච්ඡා කෙරිණි.

හොංකොං මූල්‍ය අධිකාරියේ ප්‍රධාන විධායක සහ RCG Asia හි වත්මන් සාමාජික සම සභාපති එඩි යු මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ RCG Asia හි වත්මන් සාමාජික නොවන සම සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙම රැස්වීමේ සම මුලසුන හොබවන ලදී. RCG Asia හි සාමාජිකත්වය ඕස්ට්‍රේලියාව, බෲනායි දරුස්සලාම්, කාම්බෝජය, චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, නවසීලන්තය, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල මූල්‍ය අධිකාරීන්ගෙන් සමන්විත වේ.

Pages