මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 ජූනි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය 2015 වසරේ අවසන් කාර්තුවේ වාර්තා කරන ලද සියයට 2.5ක මූර්ත වර්ධනයට සාපේක්ෂ ව 2016 වසරේ පළමු කාර්තුව තුළ දී සියයට 5.5කින් වර්ධනය වී ඇත. 2016 වසරේ පළමු කාර්තුව තුළ දී පිළිවෙළින් සියයට 8.3කින් සහ සියයට 4.9කින් වර්ධනය වූ කාර්මික අංශය හා සේවා අංශය ආශ්‍රිත ක්‍රියාකාරකම් ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර කෘෂිකර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙම කාල සීමාව තුළ දී සියයට 1.9ක මන්දගාමී වර්ධනයක් වාර්තා කළේ ය. පළමු කාර්තුව තුළ වාර්තා කරන ලද වර්ධන අනුපාතිකය වර්ෂය සඳහා වන ආර්ථික වර්ධන අපේක්ෂා සමඟ අනුකූල වේ. 

අහිතකර කාලගුණික තත්ත්වය නිසා සැපයුම් අංශයට සිදු වූ බාධා හේතුවෙන් මෙන් ම එකතු කළ අගය මත බදු (VAT) ඉහළ නැංවීම හා එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩ නැගීමේ බද්ද (NBT) මත පැවැති ඇතැම් බදු නිදහස් කිරීම් ඉවත් කිරීමේ බලපෑම පිළිබිඹු කරමින් 2016 මැයි මාසයේ දී උද්ධමනය අපේක්ෂා කළ පරිදි ඉහළ ගියේ ය. ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007 = 100) අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා කළ සියයට 3.1 සමඟ සැසඳීමේ දී 2016 මැයි මාසයේ දී සියයට 4.8 දක්වා ඉහළ ගිය අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය ද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා කළ සියයට 4.3 සමඟ සැසඳීමේ දී 2016 මැයි මාසයේ දී සියයට 5.3 දක්වා ඉහළ ගියේ ය. ප්‍රධාන වශයෙන් ම රජය විසින් බදු ව්‍යුහයේ සිදු කරන ලද සංශෝධන පිළිබිඹු කරමින් කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය යන දර්ශක දෙක ම අනුව මනිනු ලබන මූලික උද්ධමනය ද 2016 මැයි මාසයේ දී ඉහළ ගියේ ය. මෙ බඳු තාවකාලික මිල විචලනයන් පැවැතිය ද නිසි ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් ඉදිරි කාලය තුළ දී උද්ධමනය අඩු වී මැදි කාලීන ව මැදි - තනි අගයක පවතිනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

මුදල් අංශය සැලකූ විට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම අනුව වර්ධනයේ යම් මන්දගාමී බවක් පෙන්නුම් කරමින් 2016 මාර්තු මස පැවැති සියයට 18.9 හා සාපේක්ෂ ව 2016 අප්‍රේල් මාසයේ දී පුළුල් මුදල් වර්ධනය (M2b) සියයට 18.2ක් විය. වසරේ පළමු සිව් මස තුළ රාජ්‍ය සංස්ථාවලට ලබා දුන් ණය ආපසු ගෙවීමක් වාර්තා වූ අතර පුළුල් මුදල් වර්ධනය සඳහා පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ණය ප්‍රසාරණය ප්‍රධාන වශයෙන් හේතු විය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රම‍ාණය 2016 අප්‍රේල් මාසයේ දී සියයට 28.1කින් ඉහළ ගිය අතර පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණයේ මාසික ඉහළ යෑම පෙර මස පැවැති රුපියල් බිලියන 87.7 හා සාපේක්ෂ ව 2016 අප්‍රේල් අවසා‍නයේ දී රුපියල් බිලියන 27.4ක් දක්වා සීමා විය. කෙටිකාලීන මුදල් වෙළෙඳපොළ අනුපාතික යම් ස්ථාවර වීමක් පෙන්නුම් කළ ද අඩු මට්ටමක පවතින දේශීය මුදල් වෙළෙඳපොළ රුපියල් ද්‍රවශීලතාව මධ්‍යයේ මීට පෙර ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම ක්‍රමික ව සම්ප්‍රේෂණය වීම පිළිබිඹු කරමින් අනෙකුත් වෙළෙඳපොළ පොලී අනුපාතික අඛණ්ඩ ව ඉහළ යෑමක් වාර්තා කළේ ය. 

ආර්ථිකයේ විදේශීය අංශය සැලකූ විට අපනයනය පහළ යෑමට වඩා ඉහළ අගයකින් ආනයනය අඩු වීම හේතුවෙන් 2016 වසරේ පළමු මාස හතර තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළෙඳ ගිණුමේ හිඟය සියයට 2.4කින් අඩු විය. 2016වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ දී සංචාරක ඉපැයීම් සියයට 18.4කින් ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ද 2016 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ දී සියයට 4.7ක ඉහළ යෑමක් වාර්තා කළේ ය. 2016 මැයි මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 

මේ අතර ගෙවුම් ශේෂ ස්ථාවරත්වය සඳහා සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සහාය දීම පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් 2016 ජූනි මස 3 වැනි දින ශ්‍රී ලංකාව සඳහා විශේෂ ගැනුම් හිමිකම් බිලියන 1.1ක (එ නම් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක පමණ) විස්තීර්ණ ණය පහසුකමක් වසර තුනක කාලයක් සඳහා අනුමත කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම අනුමත වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළ අපේක්ෂා වැඩි වර්ධනය වීමත් සමඟ 2016 ජූනි මාසයේ මේ දක්වා කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට එරෙහි ව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රම‍ාණය වී ඇත. ඒ අනුව සැලසුම්ගත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ අපේක්ෂිත ණය නො වන ප්‍රාග්ධන ප්‍රවාහ ලබා ගැනීම හා සමගාමී ව විස්තීර්ණ ණය පහසුකම් සහ අනෙකුත් ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ණය පහසුකම් තුළින් ආර්ථිකයේ විදේශීය අංශයේ ස්ථාවර බව ඉදිරියේ දී ශක්තිමත් වනු ඇතැ යි අපේක්ෂිත ය. රාජ්‍ය අංශයේ අපේක්ෂිත යහපත් ප්‍රවනතා සාර්ව ආර්ථික ස්ථායිතාව තිරසාර පදනමින් පවත්වා ගැනීම සඳහා වූ මහ බැංකු ප්‍රතිපත්තිවලට උපකාරී වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. 

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 ජූනි මස 24 පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 6.50 සිට සියයට 8.00 මට්ටමේ තවදුරටත් නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. දේශීය හා විදේශීය වෙළෙඳපොළ තුළ ප්‍රවනතා මුදල් මණ්ඩලය විසින් තවදුරටත් සමීප ව අධීක්ෂණය කරනු ඇති අතර අවශ්‍ය පරිදි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනස් කිරීම් සිදු කරනු ඇත. 

මුදල් ප්‍රතිපත්ති තීරණය: ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී 
   
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 6.50%
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.00%
   
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 7.50%

Published Date: 

Friday, June 24, 2016