කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 ජුනි මාසයේ දී ඉහළ යෑමක් පෙන්නුම් කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. මෙම ඉහළ යෑම සමග වුවද, උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතුණි.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 මැයි මාසයේ පැවති සියයට 0.0හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.4 දක්වා ඉහළ ගියේය. තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2024 මැයි මාසයේ පැවති සියයට 1.3හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.8 දක්වා ඉහළ ගියේය. මේ අතර, අඛණ්ඩව මාස තුනක් තුළ පහළ ගිය මාසික පදනම මත මනිනු ලබන උද්ධමනය 2024 ජුනි මාසයේ දී සුළු වශයෙන් ඉහළ ගියේය. ඒ අනුව, 2024 ජුනි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික ප්‍රතිශත වෙනස සියයට 0.77ක් ලෙස වාර්තා විය. මේ අතර, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2024 මැයි මාසයේ පැවති සියයට 3.5හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 4.4 දක්වා ඉහළ ගියේය.

පවතින දත්ත මත පදනම්ව, නුදුරු කාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටම වන සියයට 5ට වඩා පහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදි කාලීනව, සුදුසු ප්‍රතිපත්තිමය මැදිහත් වීම් වල සහායයෙන් උද්ධමනය ඉලක්කගත මට්ටමට ළඟා වී, එම මට්ටම වටා ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, June 28, 2024