මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාව ලැයිස්තුගත කිරීම සහ ගෝලීය වශයෙන් පවතින මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුතීන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකාය (Financial Action Task Force - FATF) විසින් මුදල් විශුද්ධිකරණය/ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ගෝලීය වශයෙන් සිදුවන වෙනත් අදාළ වැරදි වැළැක්වීම සඳහා නිර්දේශ 40ක් හඳුන්වා දී ඇත.  මූල්‍ය කාර්ය සාධක බලකායට අනුබද්ධිත කලාපීය සංවිධානයක් ලෙස මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (Asia Pacific Group on Money Laundering – APG) කටයුතු කරනු ලබන අතර, මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශවලට කලාපය තුළ ඇති අනුකූලතාව ඔවුන් විසින් නිරීක්ෂණය කරනු ලබයි.  තව ද, ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් වේ. 

එක් එක් රටවල නීතිමය හා ආයතනික රාමුව සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා එම රටවල් විසින් ක්‍රියාවට නංවා ඇති පියවර පිළිබඳ ව මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් කලාපීය නිරීක්ෂණ ආයතන හරහා නිරන්තරයෙන් ඇගයීමට ලක් කරනු ලබයි.  මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කාලපීය කණ්ඩායම මගින් 2006 වසරේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ පළමු අන්‍යොන්‍ය ඇගයීම ද, 2014/15 වසරවල දී දෙවන අන්‍යොන්‍ය ඇගයීම ද සිදු කරන ලදී.  2015 ජූලි මාසයේ දී දෙවන අන්‍යොන්‍ය ඇගයීම් වාර්තාව සම්මත වූ අතර, අන්‍යොන්‍ය ඇගැයීමේ දී හඳුනා ගත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ඇති දුර්වලතා මඟ හරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් ක්‍රියාවට නැංවිය යුතු පියවර රැසක් මෙහි දී නිර්දේශ කරන ලදී. 

අනතුරු ව, මෙම දුර්වලතා මඟ හරවා ගැනීම සඳහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික ප්‍රතිපත්තිය සම්මත කර ගැනීම, මූල්‍ය ආයතන ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්‍යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති සහ අවදානම පදනම් කර ගත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අධීක්ෂණ ක්‍රමවේදයක් මූල්‍ය ආයතනයන්ට හඳුන්වා දීම ආදිය ඇතුළත් පියවර රැසක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාවට නංවන ලදී.  මේ අතර, අන්‍යොන්‍ය ඇගැයීමේ දී හඳුනා ගත් දුර්වලතා මඟ හරවා ගැනීමට එක් එක් ආයතන විසින් ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාකාරී සැලැස්මක්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිත ව සම්මත කර ගත්තේ ය.  ශ්‍රී ලංකාව පෙන්වා ඇති ප්‍රගතිය පදනම් කරගෙන පළමුව “තරමක් දුරට අනුකූල” ලෙස ශ්‍රේණිගත කරන ලද නිර්දේශ 9ක් මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසින් “බොහෝ දුරට අනුකූල” මට්ටම දක්වා ඉහළ නැංවී ය.  මේ අනුව, “අනුකූල”/ “බොහෝ දුරට අනුකූල” නිර්දේශ සංඛ්‍යාව 21ක් දක්වා වැඩි වී ඇත.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සඵලතාවය (Effectiveness) සම්බන්ධ ව ලබා ඇති ප්‍රගතිය ඇගයීම සඳහා මූල්‍ය කාර්ය සාධක බලකායේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ සමාලෝචන කණ්ඩායම (International Cooperation Review Group – ICRG)  විසින් ශ්‍රී ලංකාව සමාලෝචනයට ලක් කරන බව 2016 ඔක්තෝම්බර් මාසයේ දී මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රි ලංකාවට දැනුම් දෙන ලදී.  සාකච්ඡා සහ ප්‍රගති සමාලෝචන වාර්තා කිහිපයකට පසුව ජාත්‍යන්තර සහයෝගීතාව, අධීක්ෂණය, නෛතිකමය පුද්ගලයන් හා සැකසුම් සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය සම්බන්ධයෙන්  ඉලක්කගත මූල්‍ය සම්බාධක (උතුරු කොරියාව සහ ඉරානයට අදාළ) ආදී වශයෙන් වන කරුණු 4ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවශ්‍ය ප්‍රගතිය පෙන්වා නොමැති බව මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.   මෙහි ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේ දී ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි දී පැවති වාර්ෂික රැස්වීමේ දී, ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්‍රමෝපායන්ගේ දුර්වලතා සහිත රටක් ලෙස මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයේ ලැයිස්තුගත කරන ලද අතර මෙය “අළු ලේඛනයට” ඇතුලත් කිරීම ලෙස හඳුන්වයි.  මෙසේ ලැයිස්තුගත කිරීමෙන් පසුව, එම හඳුනාගත් ක්‍රමෝපාය දුර්වලතා මඟ හරවා ගැනීම සඳහා කාල රාමුවකට යටත් වූ ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී.  2017 නොවැම්බර් මාසයේ සිදු වූ මෙම ලැයිස්තුගත වීමෙන් පසු ව, මුදල් විශුද්ධිකරණ වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දක්වන අනුකූලතාව වර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ නිසි අධිකාරීන් විසින් 2018 අංක 1 දරන මූල්‍ය නො වන ව්‍යාපාර හා වෘත්තීන්වලට අදාළ (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්‍යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති නිකුත් කිරීම, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය සම්බන්ධ ව උතුරු කොරියාවට අදාළ ව ඉලක්කගත මූල්‍ය සම්බාධක පිළිබඳ නියාමන නිකුත් කිරීම ආදී පියවර රැසක් ගෙන ඇත.  

තව ද, අධිකරණ අමත්‍යාංශය විසින් භාර ආඥා පනතට සහ 2002 අංක 25 දරන සාපරාධි කාරණාවල දී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සඳහා  සංශෝධන හඳුන්වා දීම, සමාගම් රෙජිස්ට්‍රාර් විසින් 2007 අංක 7 දරන සමාගම් පනතට සංශෝධන හඳුන්වා දීම, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉරානයට අදාඵ ව ඉලක්කගත මූල්‍ය සම්බාධක පැනවීම සහ ක්‍රියාවට නැංවීම, නිසි බලධරයන් විසින් උතුරු කොරියාව සම්බන්ධ ව නියාමන ක්‍රියාත්මක කිරීම, මූල්‍ය බුද්ධි ඒකකය විසින් නම් කරන ලද මූල්‍ය නො වන ව්‍යාපාර හා වෘත්තීන් වෙත  අවදානම පදනම් කර ගත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අධීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීම ආදී වූ පියවර රැසක් ගෙන ඇත.  මීට අමතර ව, මේ වන විට මූල්‍ය බුද්ධි ඒකකයේ ක්‍රියාත්මක වන අධීක්ෂණ කණ්ඩායමට වැඩි කාර්ය මණ්ඩලයක් වෙන් කිරීම හරහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ මූල්‍ය බුද්ධි ඒකක අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත.

මූල්‍ය කාර්ය සාධක බලකායේ ක්‍රියාකාරී සැලැස්ම සැලකිල්ලට ගෙන මූල්‍ය බුද්ධි ඒකකයේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන ජාතික සහයෝගීතා කමිටුව විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුතීන් වැඩිදියුණු කිරීම සඳහා අදාළ වන රටේ සියලු ම පාර්ශ්වයන්ගේ කැපවීම සහ සහයෝගීතාව වර්ධනය කිරීමට අවශ්‍ය නිසි පියවර ගෙන ඇත.  එ බැවින්, ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති ක්‍රියාකාරී සැලැස්ම, ලබා දී ඇති කාලය තුළ දී සාර්ථක අයුරින් සම්පූර්ණ කර රටේ අනුකූලතාව මෙන් ම ශ්‍රේණිගත කිරීම ද ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි. 

 

Published Date: 

Thursday, February 15, 2018