නිතර අසනු ලබන ප්‍රශ්න

දේශීය මෙහෙයුම් කටයුතු

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යනු කුමක්ද?

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යනු මහ බැංකුවේ මූලික අරමුණ වන රටේ මිල ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම සඳහා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මුදල් සැපයුම හා පොලී අනුපාතික සම්බන්ධයෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ විවිධ මුදල් ප්‍රතිපත්ති උපයෝගී කර ගනිමින් ක්‍රියාවට නැංවීමයි.

විවට වෙළඳපොළ කටයුතු යනු කුමක්ද?

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 31 වැනි වගන්තිය යටතේ තාවකාලික හෝ ස්ථිර පදනම මත මුදල් වෙළඳපොළ සහභාගිත්ව ආයතන සඳහා ද්‍රවශීලතාව සැපයීම හෝ මුදල් වෙළඳපොළ වෙතින් ද්‍රවශීලතාව අවශෝෂණය කිරීම විවට වෙළඳපොළ කටයුතු මඟින් සිදු කෙරේ. මෙහිදී මහ බැංකුව විසින් සුරැකුම්පත් මිලදී ගැනීම සහ විකිණීම විවට වෙළඳපොළ කටයුතු ලෙස හැඳින්වේ. විවට වෙළඳපොළ කටයුතු යනු මහ බැංකුව විසින් මෙහෙයවනු ලබන වෙළඳපොළ පදනම් කරගත් ප්‍රධානතම මුදල් මෙහෙයුම් උපකරණය වන අතර, දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව කළමනාකරණය තුළින් කෙටිකාලීන පොලී අනුපාතික හා උද්ධමනය හා ස්ථාවරව පවත්වා ගැනීමට එය යොදා ගනු ලබයි.

විවට වෙළඳපොළ කටයුතු ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මහ බැංකුව විවට වෙළඳපොළ කටයුතු මඟින් ඒක්ෂණ (අන්තර් බැංකු) මුදල් වෙළඳපොළ පොලී අනුපාතික මත බලපෑම් ඇති කරනු ලබන අතර, එමඟින් අනෙකුත් කෙටිකාලීන පොලී අනුපාතිකවල හැසිරීම මෙන්ම, ආර්ථිකයේ අනෙකුත් දිගුකාලීන පොලී අනුපාතික කෙරෙහි ද බලපෑම් ඇති කරනු ලබයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස තැන්පතු සහ ණය පොලී අනුපාතික වැනි අනෙකුත් පොලී අනුපාතික ද බලපෑමට ලක් වන අතර, එමඟින් කුටුම්බ සහ ව්‍යාපාරවල ඉතුරුම් සහ වියදම් පිළිබඳ තීරණ කෙරෙහි ද වත්කම් මිල ගණන් කෙරෙහි ද බලපෑම් ඇති කෙරේ. එමඟින් අවසාන වශයෙන් ආර්ථික ක්‍රියාකාරකම් සහ මිල මට්ටම කෙරෙහි ද බලපෑම් ඇති කෙරේ.

විවට වෙළඳපොළ කටයුතු සඳහා සහභාගි වීමට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?

ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විවට වෙළඳපොළ කටයුතු සඳහා සහභාගිවීමට සුදුසුකම් ලබන අතර, බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ට (බැංකු හැර ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස පත් කරන ලද සමාගම්) සහ සේවක අර්ථසාධක අරමුදලට සීමිත වශයෙන් විවට වෙළඳපොළ කටයුතු සඳහා සහභාගි විය හැකිය. මෙම ආයතන පොදුවේ සහභාගිත්ව ආයතන ලෙස හඳුන්වනු ලැබේ.

ඒක්ෂණ මුදල් වෙළඳපොළ යනු කුමක්ද?

අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ යනු බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සාමාන්‍යයෙන් සිය එක්දින ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සුරැකුම්පත් රහිතව අරමුදල් ණයට ගනු ලබන සහ අරමුදල් ණයට සපයනු ලබන වෙළඳපොළයි. මෙම ගනුදෙනු කෙටිකාලීන පදනමක් මත සිදු කෙරෙන අතර, එමඟින් මුදල් වෙළඳපොළ තුළ ද්‍රවශීලතාව සඳහා ඇති ඉල්ලුම පෙන්නුම් කරනු ලබයි.

බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය යනු කුමක්ද?

බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (Average Weighted Call Money Rate) යනු බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිදු කරනු ලබන එක්දින ඒක්ෂණ මුදල් ගනුදෙනුවල බර තබන ලද සාමාන්‍ය පොලී අනුපාතිකයයි. මෙය මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති රාමුවෙහි මෙහෙයුම් ඉලක්කය ලෙස ක්‍රියා කරනු ලබන අතර, මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය දෛනිකව ගණනය කර ප්‍රකාශයට පත් කරනු ලබයි.

ප්‍රතිමිලදීගැනුම් වෙළඳපොළ යනු කුමක්ද?

ප්‍රතිමිලදීගැනුම් (Repurchase/Repo) වෙළඳපොළ යනු සහභාගිත්ව ආයතන විසින් දෛනික අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රජයේ සුරැකුම්පත් ඇප වශයෙන් භාවිතා කොට කෙටිකාලීන අරමුදල් ණයට ගනු ලබන සහ අරමුදල් ණයට සපයනු ලබන වෙළඳපොළයි.

බරිත සාමාන්‍ය ප්‍රතිමිලදීගැනුම් අනුපාතිකය යනු කුමක්ද?

බරිත සාමාන්‍ය ප්‍රතිමිලදීගැනුම් අනුපාතිකය (Average Weighted Repo Rate) යනු සහභාගිත්ව ආයතන අතර සිදුවන එක්දින ප්‍රතිමිලදීගැනුම් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතිකයයි. මෙය මහ බැංකුව විසින් දෛනිකව ගණනය කර ප්‍රකාශයට පත් කරනු ලබයි.

මහ බැංකු ද්‍රවශීලතාව යනු කුමක්ද? එය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී වැදගත් වන්නේ ඇයි?

මහ බැංකු ද්‍රවශීලතාව (Central Bank Liquidity) යනු, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් තම සංචිත අවශ්‍යතාව සපුරාලීම සඳහා සහ පියවීම් කටයුතු සපුරා ගැනීම සඳහා මහ බැංකුවේ පවත්වා ගෙන යනු ලබන සංචිත ගිණුම්වල ශේෂයන්ගේ එකතුව ලෙස හැඳින්විය හැකිය. වාණිජ බැංකු විසින් සංචිත ගිණුමේ තබාගත යුතු අරමුදලවලින් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවට වඩා වැඩි (හෝ අඩු) සංචිත ප්‍රමාණය අතිරික්ත ද්‍රවශීලතාව (හෝ හිඟ ද්‍රවශීලතාව) ලෙස හඳුන්වනු ලැබේ. නියමිත දිනයකදී, බලපත්‍රලාභී වාණිජ බැංකු මහ බැංකුවේ පවත්වා ගනු ලබන තැන්පතු ප්‍රමාණය සංචිත ගිණුමේ පවත්වාගෙන යා යුතු ශේෂයට වඩා ඉහළ (පහළ) අගයක් ගන්නා අවස්ථාවකදී බැංකු පද්ධතිය අතිරික්ත (හිඟ) ද්‍රවශීලතා තත්ත්වයක් පවතී. එම අතිරික්ත හෝ හිඟ ද්‍රවශීලතාව මත පදනම්ව, එක්දින පොලී අනුපාතික (උදා: බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය) පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුව අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීම සඳහා මෙන්ම, එහි දිශානතිය තීරණය කිරීම සඳහා මහ බැංකුව විසින් යෝග්‍ය උපකරණ භාවිතා කරමින් මුදල් මෙහෙයුම් සිදු කරනු ලබයි.

මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව ඉහළ යෑම සහ පහළ යෑම සඳහා බලපාන සාධක මොනවාද?

 සහභාගිත්ව ආයතන විසින් මහ බැංකුව සමග සිදු කරනු ලබන ගනුදෙනු මුදල් වෙළඳපොළ ද්‍රවශීලතා මට්ටම් වෙනස්වීම කෙරෙහි බලපායි.

ද්‍රවශීලතාව ඉහළ නංවන ප්‍රධාන සාධක :

 අ) මහ බැංකුව විසින් ද්වීතීයීක වෙළඳපොළ වෙතින් භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර මිලදී ගැනීම

i. තාවකාලික පදනමින් මිලදී ගැනීම (විවට වෙළඳපොළ කටයුතු යටතේ ප්‍රතිවිකුණුම් ගනුදෙනු)
ii. ස්ථිර පදනමින් මිලදී ගැනීම (විවිට වෙළඳපොළ කටයුතු යටතේ භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර)

ආ) මහ බැංකු සුරැකුම්පත් කලින් ගෙවා අවසන් කිරීම

ඇ) මහ බැංකුව විසින් සහභාගිත්ව ආයතන වෙත නිත්‍ය ණය පහසුකම යටතේ අරමුදල් සැපයීම

ඈ) මහ බැංකුව විසින් දේශීය වෙළඳපොළ තුලින් විදේශ විනිමය මිලදී ගැනීම

ඉ) මහ බැංකුව විසින් ගැනුම්-විකුණුම් විදේශ විනිමය හුවමාරු ගනුදෙනු සඳහා එළැඹීම (Buy-Sell Fx Swap)

ඊ) රජයට ලැබුණු විදේශ ණය ආදී ලැබීම් යටතේ වූ විදේශ විනිමය මහ බැංකුව විසින් මිලදී ගැනීම

උ) බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මහ බැංකුවේ මුදල් තැන්පත් කිරීම

ඌ) මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළඳපොළ වෙතින් රජයේ සුරැකුම්පත් මිලට ගැනීම*

එ) මහ බැංකුවේ ලාභ රජය වෙත පැවරීම**

ඒ) මහ බැංකුව විසින් රජයට වෙත තාවකාලික අත්තිකාරම් ලබාදීම***

ඔ) මහ බැංකුව විසින් සහභාගිත්ව ආයතන වෙත ණය සහ අත්තිකාරම් ලබාදීම

ද්‍රවශීලතාව අඩු කරනු ලබන ප්‍රධාන සාධක :

අ) මහ බැංකුව විසින් තාවකාලික පදනම මත ද්විතීයීක වෙළඳපොළෙහි භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම (විවට වෙළඳපොළ කටයුතු යටතේ ප්‍රතිමිලදීගැනීම් ගනුදෙනු)

ආ) මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ස්ථාවර පදනම මත ද්විතීයීක වෙළඳපොළෙහි විකිණීම

ඇ) මහ බැංකුව විසින් මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම

ඈ) මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු පහසුකම යටතේ අරමුදල් භාරගැනීම

ඉ) මහ බැංකුව විසින් දේශීය වෙළඳපොළ තුළ විදේශ විනිමය විකිණීම

ඊ) මහ බැංකුව විසින් විකුණුම්-ගැනුම් විදේශ විනිමය හුවමාරු (Sell-Buy Fx Swap) ගනුදෙනුවල නිරත වීම

උ) රජයේ විදේශ විනිමය ණය ආපසු ගෙවීම සඳහා මහ බැංකුව විසින් රජය වෙත විදේශ විනිමය විකිණීම

ඌ) බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මහ බැංකුවෙන් ඔවුන්ගේ ව්‍යවහාර මුදල් තැන්පතු ලබා ගැනීම

එ) මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් කල්පිරීම හෝ කලින් ගෙවා අවසන් කිරීම

ඒ) මහ බැංකුව විසින් සහභාගිත්ව ආයතන වෙත සපයන ලද ණය හා අත්තිකාරම් එම ආයතන විසින් ආපසු මහ බැංකුව වෙත ගෙවීම

ප්‍රතිමිලදීගැනුම්/ප්‍රතිවිකුණුම් වෙන්දේසි යනු කුමක්ද?

දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව අවශෝෂණය කරගැනීමට හෝ ද්‍රවශීලතාව සැපයීම සඳහා ප්‍රතිමිලදීගැනුම්/ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වනු ලැබේ. දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව අවශෝෂණය කරගැනීම සඳහා ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි ද, ද්‍රවශීලතාව සැපයීම සඳහා ප්‍රතිවිකුණුම් වෙන්දේසි ද පවත්වනු ලැබේ. ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි යටතේ මහ බැංකුව රජයේ සුරැකුම්පත් තාවකාලික පදනමින්, එනම් එකඟ වූ දින ගණනකින් පසු නැවත මිලදී ගැනීමේ ගිවිසුමක් යටතේ විකුණනු ලැබේ. ප්‍රතිවිකුණුම් වෙන්දේසි යටතේ මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් තාවකාලික පදනමින්, එනම් එකඟ වූ දින ගණනකින් පසු නැවත විකිණීමේ ගිවිසුමක් යටතේ මිලදී ගනු ලැබේ. වෙළඳපොළෙහි පවතින ද්‍රවශීලතා මට්ටම අනුව වෙන්දේසි කාලසීමාව තීරණය වේ (එක්දින ප්‍රතිමිලදීගැනුම්/ප්‍රතිවිකුණුම්, දින 7 ට අඩු පරිණත කාලය - කෙටිකාලීන ප්‍රතිමිලදී ගැනුම්/ප්‍රතිවිකුණුම්, දින 7 ට වැඩි දින 90 දක්වා පරිණත කාලය - දිගුකාලීන ප්‍රතිමිලදීගැනුම්/ ප්‍රතිවිකුණුම්).

ස්ථිර පදනම මත පවත්වනු ලබන වෙන්දේසි යනු මොනවාද?

දිගුකාලීන වශයෙන් පවතින අතිරික්ත හෝ හිඟ ද්‍රවශීලතාවට පිළියම් ලෙස ද්‍රවශීලතාව ස්ථිර පදනමින් අවශෝෂණය කරගැනීම හෝ සැපයීම සඳහා ස්ථිර පදනම මත වෙන්දේසි පවත්වනු ලැබේ. දිගු කලක් පුරා වෙළඳපොළ අතිරික්ත ද්‍රවශීලතාව ඉහළ අගයක පවතින්නේ නම් මහ බැංකුව රජයේ සුරැකුම්පත් ස්ථිර පදනමින් ද්විතීයීක වෙළඳපොළෙහි අලෙවි කොට ද්‍රවශීලතාව ස්ථිර පදනමින් අවශෝෂණය කරනු ලබයි. එසේම, ද්‍රවශීලතාව දිගු කාලීන වශයෙන් සැපයීම සඳහා රාජ්‍ය සුරැකුම්පත් ස්ථිර පදනමින් ද්විතීයීක වෙළඳපොළ වෙතින් මිලදීගැනීම හරහා මහ බැංකුව ද්‍රවශීලතාව ස්ථිර පදනමින් වෙළඳපොළට සපයනු ලබයි.

සහභාගිත්ව ආයතන සඳහා වන විවට වෙළඳපොළ වෙන්දේසි මොනවාද?

ද්‍රවශීලතා තත්ත්ව මත පදනම්ව විවට වෙළඳපොළ කටයුතු යටතේ මහ බැංකුව විවිධ වෙන්දේසි වර්ග පවත්වනු ලබයි.

වෙන්දේසි වර්ගය
අරමුණ
සුදුසුකම් ලබන පාර්ශ්වකරුවන්
කාලසීමාව
එක්දින ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි එක්දින පදනමින් ද්‍රවශීලතාව අවශෝෂණය බලපත්‍රලාභී වාණිජ බැංකු සහ සේවක අර්ථසාධක අරමුදල (සේවක අර්ථසාධක අරමුදල ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි සඳහා පමණි) දින 1
එක්දින ප්‍රතිවිකුණුම් වෙන්දේසි එක්දින පදනමින් ද්‍රවශීලතාව සැපයීම
එක්දින ද්‍රවශීලතා ආධාරක පහසුකම එක්දින පදනමින් ද්‍රවශීලතාව සැපයීම බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් දින 1
කෙටිකාලීන ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි කෙටිකාලීන පදනමින් ද්‍රවශීලතාව අවශෝෂණය කිරීම බලපත්‍රලාභී වාණිජ බැංකු සේවක අර්ථසාධක අරමුදල (ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි සඳහා පමණි) දින 2 – 7 දක්වා
කෙටිකාලීන ප්‍රතිවිකුණුම් වෙන්දේසි කෙටිකාලීන පදනමින් ද්‍රවශීලතාව සැපයීම
කෙටිකාලීන ද්‍රවශීලතා ආධාරක පහසුකම කෙටිකාලීන පදනමින් ද්‍රවශීලතාව සැපයීම බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් දින 2 - 7 දක්වා
දිගුකාලීන ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි දිගුකාලීන පදනමින් ද්‍රවශීලතාව අවශෝෂණය කිරීම බලපත්‍රලාභී වාණිජ බැංකු සේවක අර්ථසාධක අරමුදල (ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි සඳහා පමණි) දින 8 - 90 දක්වා
දිගුකාලීන ප්‍රතිවිකුණුම් වෙන්දේසි දිගුකාලීන පදනමින් ද්‍රවශීලතාව සැපයීම
දිගුකාලීන ද්‍රවශීලතා ආධාරක පහසුකම දිගුකාලීන පදනමින් ද්‍රවශීලතාව සැපයීම බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් දින 8 - 90 දක්වා
ස්ථිර පදනමින් රජයේ සුරැකුම්පත් විකිණීමේ වෙන්දේසි ස්ථිර පදනමින් ද්‍රවශීලතාව අවශෝෂණය කිරීම බලපත්‍රලාභී වාණිජ බැංකු, බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්, සේවක අර්ථසාධක අරමුදල (ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි සඳහා පමණි) අදාළ නොවේ
ස්ථිර පදනමින් රජයේ සුරැකුම්පත් මිලට ගැනීමේ වෙන්දේසි ස්ථිර පදනමින් ද්‍රවශීලතාව සැපයීම

ද්‍රවශීලතා ආධාරක පහසුකම යනු කුමක්ද?

ද්‍රවශීලතා ආධාරක පහසුකම (Liquidity Support Facility) යනු දේශීය මුදල් වෙළඳපොළ සුමටව ක්‍රියාත්මක වීම සහ ද්‍රවශීලතා හිඟයක් පවතින අවස්ථාවලදී මුදල් වෙළඳපොළ පොලී අනුපාතික මත ඇති විය හැකි අනවශ්‍ය පීඩනය ඉවත් කිරීම සඳහා මහ බැංකුව විසින් බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් හට ලබාදෙන පහසුකමකි.

මහ බැංකුවේ ද්‍රවශීලතා ආධාරක පහසුකම (Liquidity Assistance Facility) යනු කුමක්ද?

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 36 වැනි වගන්තිය යටතේ පාලක මණ්ඩලයේ අනුමැතිය පරිදි, සුවිශේෂී අවස්ථාවලදී මහ බැංකුව විසින් දින 91 ක කාලයක් සඳහා මූල්‍ය ආයතනවලට ද්‍රවශීලතා පහසුකම සැපයීමයි.

බැංකු අනුපාතිකය යනු කුමක්ද?

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 36 වැනි වගන්තිය යටතේ බැංකු ආයතන සඳහා හදිසි ණය සපයනු ලබන අනුපාතිකය බැංකු අනුපාතිකය ලෙස හැඳින්වේ. වර්තමානයේ මහ බැංකුව විසින් බැංකු අනුපාතිකය තීරණය කරනු ලබන්නේ පදනම් අනුපාතිකයකට ආන්තිකයක් එකතු කිරීමෙනි. (එනම්, බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය + පදනම් අංක 300)

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යනු කුමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 32 වැනි වගන්තිය අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඔවුන්ගේ රුපියල් තැන්පතු වගකීම්වලින් මුදල් තැන්පතුවක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සංචිත ගිණුමෙහි පවත්වා ගත යුතු අවම සංචිත ප්‍රමාණය ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ලෙස හැඳින්වේ.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ගණනය කිරීමේදී සලකා බලනු ලබන තැන්පතු වර්ග මොනවාද?

රුපියල්වලින් නාමනය කරනු ලබන ඉල්ලුම් තැන්පතු, කාලීන හා ඉතුරුම් තැන්පතු සහ වෙනත් තැන්පතු මීට අයත් වන අතර, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් වරින්වර තීරණය කරනු ලබන වෙනත් තැන්පතු වර්ග ද ඇතුළත් විය හැකිය.

දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම යනු කුමක්ද?

තත්කාලීන දළ පියවුම් පද්ධතියේ (Real Time Gross Settlement System) සුමට ක්‍රියාකාරිත්වය උදෙසා මහ බැංකුව විසින් ලංකාසෙට්ල් පද්ධතියේ සෘජු අලෙවිකරුවන් සඳහා පොලී රහිතව දිනය ඇතුළත යළි ගෙවීම සඳහා ඇප සුරැකුම් මත ලබාදෙන අරමුදල් පහසුකම දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම (Intraday Liquidity Facility) යනුවෙන් අදහස් කෙරේ.

රජයට සපයනු ලබන තාවකාලික අත්තිකාරම් යනු කුමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 127 වැනි වගන්තිය ප්‍රකාරව යම් මුදල් වර්ෂයක පළමු මාසය තුළ රජයේ ඒකාබද්ධ අරමුදලින් දරනු ලබන වියදම් මූල්‍යනය කිරීම සඳහා රජයට මහ බැංකුව වෙතින් සෘජු තාවකාලික අත්තිකාරම් ලබාගත ලැබිය හැකිය. රජය විසින් මාස හයකට නොවැඩි කාලසීමාවක් තුළ නැවත ගෙවා නිම කළ යුතු මෙම අත්තිකාරම් ප්‍රමාණය 2023 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත යටතේ අදාළ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය විසින් පළ කරනු ලබන අර්ධ වාර්ෂික වාර්තාවේ වාර්තා කරන ලද පරිදි පෙර පොලී මුදල් වර්ෂයේ පළමු මාස හතරෙහි ආදායමෙන් සියයට දහයක් නොඉක්මවිය යුතුය. මෙම අත්තිකාරම් සඳහා පවතින වෙළඳපොළ අනුපාතික අනුව තීරණය කරන ලද පොලී අනුපාතිකයක් අය කරනු ලැබිය යුතුය.

රජයේ බැංකුකරු ලෙස මහ බැංකුවේ කාර්යභාරය කුමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අංක 07 සහ 81 වැනි වගන්තිවලට අනුව මහ බැංකුව රජයේ බැංකුකරු ලෙස රාජ්‍ය ආයතන, රජයේ නියෝජිත ආයතන සහ විශේෂිත ව්‍යවස්ථාපිත මණ්ඩලවල ගිණුම් පවත්වාගෙන යෑම සිදු කරයි.

වාණිජ බැංකුවල බැංකුකරු ලෙස මහ බැංකුවේ කාර්යභාරය කුමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 29 වැනි වගන්තිය අනුව බැංකුවල බැංකුකරු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවීම් සහ පියවීම් පද්ධතිය සඳහා පහසුකම් සලසමින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල පියවීම් ගිණුම් පවත්වාගෙන යනු ලබයි. එම බැංකුවලට සපයනු ලබන ප්‍රධාන පියවීම් පහසුකම්වලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව, තත්කාලීන දළ පියවීම් පද්ධතිය හරහා ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය (CITS), ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS), ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය (CAS), විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය (CEFTS) යන පද්ධති තුළින් වාණිජ බැංකු අතර ශුද්ධ පියවීම් සිදු කරනු ලබයි.

බලයලත් මුදල් තැරැව්කරුවන් යනු කවුරුන්ද?

බලයලත් මුදල් තැරැව්කරුවන් යනු සහභාගිත්ව ආයතන අතර මුදල්, විදේශ විනිමය සහ රජයේ සුරැකුම්පත් යන වෙළඳපොළ ගනුදෙනු සඳහා පහසුකම් සැපයීම සඳහා අතරමැදියන් ලෙස ක්‍රියා කරනු ලබන මූල්‍ය ආයතනයි. ඔවුන් ගනුදෙනුවක පාර්ශවයන් නොවී නියෝජිතයන් ලෙස පමණක් ක්‍රියා කරන අතර, තැරැව්කාර ගාස්තුවක් ලබා ගනිමින් වෙළඳපොළ සහභාගිත්ව ආයතන අතර එම වෙළඳපොළ ගනුදෙනු සඳහා ගිවිසුම් සාකච්ඡා කිරීම, සංවිධානය කිරීම හෝ පහසුකම් සැලසීම සිදු කරයි. එබැවින් බලයලත් මුදල් තැරැව්කරුවන් මුදල් වෙළඳපොළ මිල තීරණ ක්‍රියාවලිය සහාය වන අතර ඔවුන්ගේ වෘත්තීයමය ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා මහ බැංකුව විසින් එම ආයතන නියාමනය කරනු ලබයි. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බලයලත් මුදල් තැරැව්කාර ආයතන ගණන 9 කි.

* 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 128 වන වගන්තිය අනුව රජය විසින් ප්‍රාථමික වෙළඳපොළෙහි නිකුත් කරන ලද, පවත්නා වෙළඳපොළ ආශ්‍රිත අනුපාතික මත පොලිය සුරැකුම්පත් මහ බැංකුව විසින් නියමිත දිනයේ සිට මාස 18 ක කාලසීමාවක් තුළ මිලදී ගනු ලැබිය හැකිය.

** 2 ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 96 වැනි වගන්තිය අනුව එක් එක් මුදල් වර්ෂය අවසන් වීමෙන් පසු දින 60 ක් ඉකුත් වීමට පෙර, අදාළ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමෙන් පසු ඉතිරිව පවතින බෙදාහැරිය හැකි ඉපැයීම් රජයට බැර කිරීම සිදු කරනු ලැබිය යුතුය. 

*** බෙදාහැරිය හැකි ඉපැයීම් රජයට බැර කිරීම සිදු කරනු ලැබිය යුතුය. 3 වැඩි විස්තර සඳහා ප්‍රශ්න අංක 20 පරිශීලනය කරන්න.