නිතර අසනු ලබන ප්‍රශ්න (FAQs)

මුදල් ප්‍රතිපත්තිය  

මුදල් ප්‍රතිපත්තිය යනු කුමක්ද?

මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් මුදලේ පිරිවැය (එනම්, පොලී අනුපාතිකය) සහ මුදල් ප්‍රමාණය (එනම්, මුදල් සැපයුම/ද්‍රවශීලතාව) මත බලපෑම් සිදු කරනු ලබන ක්‍රියාවලියකි.

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම කවුරුන් සතු වේ ද?

ශ්‍රී ලංකාව තුළ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේ වගකිව යුතු ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වේ. 2023 සැප්තැම්බර් 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත බලාත්මක කිරීමත් සමඟ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ ගනු ලබයි.

මහ බැංකුවේ ප්‍රාථමික අරමුණ වන දේශීය මිල ස්ථායිතාව පවත්වා ගෙන යෑම සඳහා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ නම්‍යශීලී උද්ධමනයක් ඉලක්ක කොටගත් රාමුව හා අනුකූල ව නම්‍යශීලී විනිමය අනුපාතික පාලනයක් ක්‍රියාත්මක කිරීම යන කාර්යයන් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වෙත පැවරී තිබේ.

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වෙත මුදල් ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම දරනුයේ අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලබන මුදල් ප්‍රතිපත්ති කමිටුව (Monetary Policy Committee) විසිනි. නැගී එන ආර්ථික වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථන ඇගයීම සහ දේශීය මිල ස්ථායිතාව තහවුරු කිරීමේ මහ බැංකුවේ මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සලකා බැලීම සඳහා මුදල් ප්‍රතිපත්තියේ සුදුසු අනාගත දිශානති පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මුදල් ප්‍රතිපත්ති කමිටුවේ ප්‍රධානතම කාර්යභාරය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන මුදල් ප්‍රතිපත්ති රාමුව කුමක් ද?

ආර්ථික වර්ධනයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වන අතරම උද්ධමනය මැදිකාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථායි ව පවත්වා ගැනීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ දී සිය මුදල් ප්‍රතිපත්තිය නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.

රජය සහ මහ බැංකුව අතර ඇතිකර ගත් වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුකරණ ගිවිසුම 2023 ඔක්තෝබර් 05 වන දින රජයේ ගැසට් පත්‍රයෙහි පළ කෙරිණි.

නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යනු කුමක් ද?

නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් යටතේ සිදු කෙරෙන මුදල් ප්‍රතිපත්තිය මගින් මූර්ත ආර්ථිකයට අවම බලපෑමක් ඇති වන පරිදි උද්ධමන ඉලක්කයක් වටා උද්ධමනය ස්ථායි ව පවත්වා ගැනීමට අරමුණු කරයි. වර්තමානයේ දී, මහ බැංකුව සහ මුදල් අමාත්‍යවරයා අතර ඇතිකර ගත් මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුම (ගැසට් නිවේදනය) මගින් තීරණය කර ඇති පරිදි උද්ධමනය සියයට 5ක අගයෙහි පවත්වා ගෙන යෑමේ අරමුණින්, මහ බැංකුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවකට අනුකූල ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබයි.

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිත කරනු ලබන උපකරණ මොනවා ද?

මුදල් ප්‍රතිපත්ති උපකරණ ලෙස භාවිත කළ හැකි උපකරණ රාශියක් මහ බැංකුව සතු ව තිබේ.  එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR), විවට වෙළඳපොළ කටයුතු (OMOs), නිත්‍ය පහසුකම් සහ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව (SRR) ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණ වේ. මීට අමතර ව, ණය මත ප්‍රමාණාත්මක සීමා කිරීම්, පොලී අනුපාතික මත උපරිම සීමා පැනවීම් සහ ශිෂ්ට ප්‍රයෝග මෙන් ම,  සන්නිවේදනය සහ ඉදිරි මාර්ගෝපදේශ ද භාවිතා කළ හැකි වේ. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු උපකරණ තෝරා ගැනීමේ නිදහස මහ බැංකුව සතු වේ.

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) යනු කුමක් ද?

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය යනු තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය යටතේ පවතින  මහ බැංකුවේ  ප්‍රතිපත්ති පොලී අනුපාතිකය යි (2024 නොවැම්බර් මස 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි). එය මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම් දීම සඳහා භාවිතා කරන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය වේ. අපේක්ෂිත උද්ධමන මට්ටම ළඟාකර ගැනීමේ අරමුණින් ආර්ථිකයේ පොලී අනුපාතික ව්‍යුහය සඳහා මඟපෙන්වීමට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මෙම එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය කලින් කලට සමාලෝචනය කර, අවශ්‍ය වන්නේ නම්, සුදුසු පරිදි වෙනස් කරනු ලැබේ.

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය හඳුන්වා දීමත් සමඟ 2024 නොවැම්බර් මස 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස ලෙස සලකනු නොලැබේ. මහ බැංකුවේ නිත්‍ය පහසුකම් සඳහා අදාළ වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් කලින් තීරණය කරන ලද ආන්තිකයක් සමග එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය හා සම්බන්ධ කර ඇත. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අන්තර් බැංකු ඒක්ෂණ මුදල් අනුපාතික සඳහා, පිළිවෙළින්, පහළ සීමාව සහ ඉහළ සීමාව ලෙස අඛණ්ඩ ව පවතී.

බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR) යනු කුමක් ද?

බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය යනු අන්තර් බැංකු ඒක්ෂණ මුදල් ගනුදෙනුවල එනම් එක් දින පදනමින් වාණිජ බැංකු අතර සුරැකුම් රහිත ව සිදු කරන ගනුදෙනුවල බරිත සාමාන්‍ය පොලී අනුපාතිකයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය ලෙස මෙම අනුපාතිකය යොදා ගනු ලබයි.

විවට වෙළෙඳපොළ කටයුතු යනු කුමක් ද?

පිළිගත හැකි සුරැකුම්පත් භාවිත කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය හා ගැළපෙන පරිදි වෙ‍ෙළඳපොළ ද්‍රවශීලතාව පවත්වා ගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන වෙ‍ෙළඳපොළ පදනම් කරගත් මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් කටයුතු විවට වෙළෙඳපොළ කටයුතු ලෙස හැඳින්වේ. රජයේ සුරැකුම්පත් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් විවට වෙ‍ෙළඳපොළ කටයුතු සඳහා භාවිත කළ හැකි‍ වේ.

පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ කාර්යභාරය කුමක්ද?

පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ප්‍රවීණ වෘත්තිකයන්, විද්වතුන් සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණයන් ඇතුළු විවිධ අංශවල පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත වේ. විශේෂයෙන් ම, ආර්ථිකයේ මුදල් සහ මූල්‍ය අංශවල මෙන් ම සමස්ත ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ආර්ථික තත්ත්වයන් සහ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳ ව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදහස් හා අපේක්ෂා ඉදිරිපත් කිරීම මෙම ඉහළ මට්ටමේ උපදේශන කමිටුවේ මූලික කාර්යභාරය වේ. එසේ ම, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පිළිබඳ ආර්ථිකයේ පාර්ශ්වකරුවන්ගේ දැක්ම අනුව අදහස් දැක්වීම පාර්ශ්වකරුවන්යේ සහභාගිත්ව කමිටුව වෙතින් අපේක්ෂා කරන අතර එමගින් වඩාත් උපදේශනාත්මක ආකාරයකින් දැනුම්වත් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුදල් සමස්ත මොනවා ද?

ශ්‍රී ලංකාවේ භාවිත කරන මුදල් සමස්තවල ප්‍රධාන නිර්වචන පහත පරිදි වේ.

  1. සංචිත මුදල්/පදනම් මුදල්/අධිබලැති මුදල් - ව්‍යවහාර මුදල් (මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු වෙතැති ව්‍යවහාර මුදල්), ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති වාණිජ බැංකු තැන්පතු සහ මහ බැංකුව වෙතැති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු ඇතුළත් වේ.
  2. පටු මුදල් (M1) - මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන මහජනයා සතු ඉල්ලුම් තැන්පතුවලින් සමන්විත වේ.
  3. පුළුල් මුදල් (M2) - පටු මුදල් සැපයුම (M1) සහ මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු ඇතුළත් වේ.
  4. පුළුල් මුදල් (M2b) - පටු මුදල් සැපයුම (M1), මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු සහ වාණිජ බැංකු වෙතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් කොටසක් ඇතුළත් වේ.
  5. පුළුල් මුදල් (M4) - පුළුල් මුදල් සැපයුම (M2b) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙතැති මහජනයා සතු කාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු ඇතුළත් වේ.

බරිත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR) යනු කුමක්ද? / බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) යනු කුමක් ද?

වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දී ඇති සියලුම නොපියවූ රුපියල් ණය සහ අත්තිකාරම්වල පොලී අනුපාතික මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාසිකව බරිත සාමාන්‍ය ණය අනුපාතිකය ගණනය කරනු ලැබේ.
සතියක් තුළ වාණිජ බැංකු විසින් සිය ප්‍රමුඛ ගනුදෙනුකරුවන් වෙත පිරිනමනු ලබන ණය පොලී අනුපාතික පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය ගණනය කරනු ලැබේ. සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකවල මාසික සාමාන්‍යය ද ප්‍රකාශයට පත් කරනු ලැබේ.

බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR) යනු කුමක් ද? / බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR) යනු කුමක් ද?

වාණිජ බැංකු වෙතැති සියලු පොලී උපයන රුපියල් තැන්පතුවලට අදාළ බරිත සාමාන්‍ය පොලී අනුපාතික මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය මාසිකව ගණනය කරනු ලැබේ.
වාණිජ බැංකු වෙතැති සියලුම නොපියවූ කාලීන රුපියල් තැන්පතුවලට අදාළ බරිත සාමාන්‍ය අනුපාතික මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය මාසිකව ගණනය කරනු ලැබේ.

බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR) යනු කුමක් ද? / බරිත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR) යනු කුමක් ද?

මාසයක් තුළ වාණිජ බැංකුවල තැන්පත් කර ඇති සියලු ම පොලී උපයන නව රුපියල් තැන්පතුවලට අදාළ බරිත සාමාන්‍ය පොලී අනුපාතික මත පදනම් ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය මාසිකව ගණනය කරනු ලැබේ.
මාසයක් තුළ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දී ඇති සියලු ම නව රුපියල් ණය සහ අත්තිකාරම්වල පොලී අනුපාතික මත පදනම් ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය නව ණය අනුපාතිකය මාසික ව ගණනය කරනු ලැබේ.

නෛතික/වෙ‍ෙළඳපොළ පොලී අනුපාතිකය යනු කුමක් ද?

1990 අංක 06 දරන සිවිල් නඩු විධාන (සංශෝධන) පනත යටතේ නෛතික පොලී අනුපාතිකය නිර්වචනය කර ඇති අතර, එය මුදලක් අය කර ගැනීම සම්බන්ධයෙන් වූ ඕනෑ ම නීතිමය ක්‍රියා මාර්ගයක දී අදාළ වේ. 1990 අංක 02 දරන ණය ආපසු අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ වෙ‍ෙළඳපොළ අනුපාතික නිර්වචනය කර ඇති අතර, එය ණය දෙන ආයතන විසින් වාණිජමය ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ

රු.150,000/-කට වඩා වැඩි ණය මුදලක්  අය කර ගැනීමේ දී ඒ සඳහා එකඟ වූ පොලී අනුපාතිකයක් නොමැති විටක අදාළ වේ.
ඉදිරි වසර සඳහා බල පවත්වන වෙළෙඳපොළ පොලී අනුපාතිකය සහ නෛතික පොලී අනුපාතිකය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසරේ දෙසැම්බර් මාසයේ දී ගණනය කර ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කරනු ලැබේ.

මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර මුදල් ප්‍රතිපත්ති රාමුවක් ඇති කර ගැනීමේ අරමුණ කුමක්ද?

මුදල් ප්‍රතිපත්ති රාමු ගිවිසුමක් මගින් සාමාන්‍යයෙන් රටක බොහෝ විට මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් මෙහෙයවනු ලබන, රජයේ විධිමත් ගිවිසුමක් නියෝජනය කෙරේ. මහ බැංකුව සහ රජය විසින් සහයෝගීව සිදු කරනු ලබන දැඩි කැපකිරීමක් වන, නිශ්චිත උද්ධමන ඉලක්කයක් නිර්වචනය කර ඊට අනුකූල වීම සඳහා ව්‍යුහාත්මක රාමුවක් නිර්මාණය කිරීම එහි මූලික අරමුණ යි. සාර්ව ආර්ථික ස්ථායිතාව අත්කර ගැනීම සඳහා විශ්වාසය ගොඩනැඟීමේ දී සහ මැනවින් පහදන ලද මාර්ගයක් ලබා දීමේ දී මෙම ගිවිසුම මගින් වැදගත් කාර්යභාරයක් සිදු කෙරේ. රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුකරණ ගිවිසුම 2023 ඔක්තෝබර් 05 වන දින රජයේ ගැසට් නිවේදනයෙහි පළ කෙරිණි.

වත්මන් උද්ධමන ඉලක්කය කුමක්ද, උද්ධමන ඉලක්කය සපුරා ගැනීමට මහ බැංකුව අපොහොසත් වී ඇත්නම් එය මැනිය හැක්කේ කෙසේද සහ උද්ධමන ඉලක්කය සපුරා ගැනීමට මහ බැංකුව අසමත් වුවහොත් කුමක් සිදුවේ ද?

කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතය සියයට 5 ඉලක්කයේ පවත්වා ගැනීම වර්තමාන උද්ධමන ඉලක්කය වේ. මෙහි දී, “කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතය” යන්නෙන් අදාළ කාර්තුවේ මාස තුන සඳහා මාසික කොළඹ පාරිභෝගික මිල දර්ශනයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය ප්‍රතිශත වෙනස්වීම්වල සරල සාමාන්‍යය යන්නෙන් අදහස් වන අතර, “CCPI” යනුවෙන් ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකය අදහස් කෙරේ.

මතුපිට උද්ධමන අනුපාතිකය අඛණ්ඩව කාර්තු දෙකක් සඳහා සියයට 5 ක උද්ධමන ඉලක්කයෙන් සියයට +/- 2 කට වඩා වැඩි ප්‍රමාණයකින් විචලනය වුවහොත්, මහ බැංකුව උද්ධමන ඉලක්කය සපුරා ගැනීමට අසමත් වූ බව සැලකෙයි.

උද්ධමන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට මහ බැංකුව අපොහොසත් වී ඇත්නම්, පහත සඳහන් තොරතුරු සහිත වාර්තාවක් මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මහ බැංකුව බැඳී සිටින අතර, එම තොරතුරු ද මහජනතාවට ලබා දිය යුතු ය.

(අ) උද්ධමන ඉලක්කය සපුරා ගැනීමට අසමත් වීමට තුඩු දුන් හේතු;
(ආ) මහ බැංකුව විසින් ගැනීමට යෝජිත පිළියම් ක්‍රියාමාර්ග කවරේද; සහ
(ඇ) උද්ධමන ඉලක්කය සපුරා ගත යුතු කාල සීමාව පිළිබඳ ඇස්තමේන්තුවක්.