ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුම දියත් කරනු ලබයි

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන් ම විධිමත් ක්‍රමවේද හරහා ප්‍රේෂණ රට තුළට ගලා ඒම ධෛර්යමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ පියවරයන් ගනිමින් සිටී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් ලංකාක්ලියර් (පුද්ගලික) ආයතනය විසින් වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු පිරිවැයක් සහිත ව ශ්‍රී ලංකාවට මුදල් එවීමේ පහසුකම් ලබා දීම අරමුණු කර ගත් 'Lanka Remit' නමින් විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුමක් හඳුන්වා දෙන ලදී.

විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුම 'Lanka Remit' පෙබරවාරි 8 වන දින ගරු නාමල් රාජපක්ෂ, තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යතුමා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා විසින් දියත් කරන ලදී.

‘Lanka Remit’ තුළින්, විදෙස්ගත ව රැකියාවල නියුතු ව සිටින ශ්‍රී ලාංකිකයන් හට ප්‍රේෂණ පහසුකම් සලසන්නන්ගේ දැනට පවතින ප්‍රේෂණ ක්‍රමවේද සඳහා සෘජු සම්බන්ධතාව ජංගම යෙදවුම හරහා ලබා දෙන අතර ම වඩා පහසු සහ ලාභදායී ප්‍රේෂණ ක්‍රමවේදය තෝරා ගැනීමටත්, එය ඔස්සේ ශ්‍රී ලංකාවට මුදල් එවීම සිදු කර ගැනීමටත් පහසුකම් සලසයි.

එ මෙන් ම  මේ  සඳහා ප්‍රේෂණ පහසුකම් සලසන්නන් ලෙස ලංකා බැංකුව (Bank of Ceylon), මහජන බැංකුව (People’s Bank), සම්පත් බැංකුව (Sampath Bank PLC), හැටන් නැෂනල් බැංකුව (Hatton National Bank PLC), ජාතික ඉතිරිකිරීමේ බැංකුව (National Savings Bank), කොමර්ෂල් බැංකුව (Commercial Bank of Ceylon PLC), නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (Nations Trust Bank PLC), ජාතික සංවර්ධන බැංකුව (National Development Bank PLC), කාගිල්ස් බැංකුව (Cargills Bank Limited), මොබිටෙල් (පුද්ගලික) ආයතනය (Mobitel Private Limited) සහ ඩයලොග් ආසියාටා (Dialog Axiata PLC) යන ආයතනයන් දැනටමත් ඉදිරිපත් වී සිටින අතර යථා කාලයේ දී අනෙකුත් ප්‍රේෂණ පහසුකම් සලසන ආයතන මෙය සමඟ සම්බන්ධ වීමට නියමිත ය.

‘Lanka Remit’ මගින් සෘජු බිල්පත් ගෙවීමේ පහසුකම, විදේශයන් හි දී නිකුත් කරන ලද විද්‍යුත් ගෙවීම් කාඩ්පත් හරහා ශ්‍රී ලංකාවට මුදල් එවීම වැනි වටිනාකම් එකතු කළ සේවාවන් රැසක් ද ලබා දීමට බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, මෙම 'Lanka Remit' යෙදුම මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය වැනි පාර්ශ්වකරුවන්ගේ සහාය ඇති ව ප්‍රචලිත කිරීමට කටයුතු කරනු ලබයි.

 

Published Date: 

Tuesday, February 8, 2022