Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 ජූලි

2022 ජූලි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පෙර මාසයට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ජූලි මාසයේ දී පහළ යන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, අඛණ්ඩව සිව්වන මාසයටත් සේවා ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරමින්, 2022 ජූලි මාසයේ දී 43.0ක දර්ශක අගයක් වාර්තා කළේය.

පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපනය කිරීම

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සිය සබඳතාව පුළුල් කිරීමේ අරමුණින් මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපිත කරන ලදී. පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ සභාපතිත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් දරනු ලබන අතර පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ පහත සඳහන් ප්‍රවීණයන් 17 දෙනා එහි සාමාජිකත්වය දරයි.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 ජූනි

2022 වසරේ ජූනි මාසයේ දී, 2002 වසරේ අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වරට වෙළඳ ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ අතර, ඒ සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන ඉපැයීම සහ ආනයන වියදමේ  අඛණ්ඩ පහත වැටීම හේතු විය. සංචාරක උපදේශන හා බැදුණු සෘණාත්මක බලපෑම් සහ ඉන්ධන හිඟය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවාහන දුෂ්කරතා තිබියදීත්, සංචාරක ඉපැයීම් පෙර වසරේ පැවති පහළ පදනමේ සිට 2022 වසරේ ජූනි මාසයේදී (වාර්ෂික ලක්ෂමය පදනම මත) වැඩිවීමක් වාර්තා කර ඇත. අවිධිමත් විදේශ විනිමය වෙළඳපොළ ක්‍රියාකාරකම්වල වැඩිවීමක් පිළිබිඹු කරමින්, 2022 වසරේ මැයි මාසයට සාපේක්ෂව, 2022 වසරේ ජූනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මන්දගාමී විය. 2022 වසරේ ජූනි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා විය. අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විසින් විදේශ සංචිත අඛණ්ඩව භාවිතා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස භාවිත කළ හැකි දළ නිල සංචිත ප්‍රමාණය අවම මට්ටමක පවතී. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 360ක මට්ටමක පැවතුණි.

මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් “සාධාරණ ලෙස ක්‍රියා කිරීමේ” වැදගත්කම

රජය සහ මහ බැංකුව මහජනතාව මත පවතින ආර්ථික දුෂ්කරතාවන් අඩු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. වත්මන් අර්බුදයට සහ එහි ප්‍රතිඵලයක් ලෙස පවතින දුෂ්කරතාවලට දායක වන එක් ප්‍රධාන සාධකයක් වනුයේ බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව නොමැතිකමයි. විදේශ විනිමය ද්‍රවශීලතාවයේ හිඟය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සැපයීමට බලපා ඇත. බැංකු පද්ධතිය තුළ ප්‍රමාණවත් විදේශ විනිමය ද්‍රවශීලතාවයක් සහතික කිරීම සඳහා, අපනයන ඉපැයීම් රුපියල් වලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතා පැනවීමට මහ බැංකුවට සිදු විය. තවද, විදේශ විනිමය පිටතට ගලායාම අධෛර්යමත් කිරීම සඳහා රජය සහ මහ බැංකුව විසින් ඇතැම් ආනයන හා ගෙවීම් ක්‍රම මත සීමා පැනවීම සහ ආන්තික අවශ්‍යතා හඳුන්වාදීම් මෙන්ම, අවිධිමත් විදේශ විනිමය වෙළඳපොළ හරහා ගමන් නොකර විධිමත් බැංකු පද්ධතිය වෙත විදේශ විනිමය ගලා ඒම දිරිමත් කිරීම වැනි ක්‍රියාමාර්ගයන් ගෙන ඇත. මෙම නියාමන ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය සහ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව රඳා පවතින්නේ වෙළඳ ප්‍රජාවේ සහ බැංකු පද්ධතියෙන් ලැබෙන සහයෝගය සහ සහයෝගීතාවය මතය. කෙසේ වෙතත්, ඇතැම් වෙළඳපොළ පාර්ශවකරුවන් මෙම රෙගුලාසිවලට සම්පුර්ණයෙන්ම අනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක්ව ඇත.

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජූලි මාසයේ දී සියයට 60.8ක් වශයෙන් වාර්තා විය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජුනි මාසයේ පැවති සියයට 54.6හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 60.8ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජුනි මාසයේ පැවති සියයට 80.1හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 90.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජුනි මාසයේ පැවති සියයට 42.4හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 46.5 දක්වා ඉහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස නිහාල් ෆොන්සේකා මහතා වසර හයක කාලයක් සඳහා යළි පත් කරයි

ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස 2022 ජුලි 27 දින සිට වසර හයක කාලයක් සඳහා නැවත පත් කර ඇත. මින් පෙර ඔහු 2016 ජුලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වා ද සහ 2022 මැයි මාසයේ සිට 2022 ජුලි මාසය දක්වා ද මුදල් මණ්ඩලයේ සේවය කළේ ය.

කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් තම විද්‍යාවේදී උපාධිය ලබා ගත් ඒ මහතා, එක්සත් රාජධානියේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයකු වන අතර, එක්සත් රාජධානියේ වරලත් සුරැකුම්පත් සහ ආයෝජන ආයතනයේ ගරු අධි සාමාජිකයෙකි. ඔහු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පොදු සමාගමේ ජ්‍යේෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂ සහ සමූහ විගණන කමිටුවේ සභාපති, සී/ස ෆීනික්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සභාපති, බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු සහ විගණන කමිටුවේ සභාපති, සී/ස ෆීනික්ස් වෙන්චර්ස් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු සහ ආයෝජන කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කරයි.

Pages