කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 ජුනි මාසයේදී ද තියුණු පහළ යෑමක් වාර්තා කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මැයි මාසයේ වාර්තා වූ සියයට 25.2හි සිට 2023 ජුනි මාසයේ දී සියයට 12.0 දක්වා පහළ යෑමක් වාර්තා කළේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

වසර දෙකකට පසුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මැයි මාසයේ පැවති සියයට 21.5හි සිට 2023 ජුනි මාසයේ දී සියයට 4.1 දක්වා තනි අගය මට්ටමකට පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මැයි මාසයේ පැවති සියයට 27.0හි සිට 2023 ජුනි මාසයේ දී සියයට 16.2 දක්වා තවදුරටත් පහළ ගියේය. 2023 ජුනි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, සියයට 0.02ක් ලෙස වාර්තා වූ අතර මෙම සුළු මාසික වෙනස සඳහා ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි වාර්තා වූ සියයට 0.41ක මිල ඉහළ යෑම, ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි දක්නට ලැබුණු සියයට -0.39ක මිල අඩුවීම මගින් තුලනය වීම හේතු විය. ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 මැයි මාසයේ පැවති සියයට 20.3හි සිට 2023 ජුනි මාසයේ දී සියයට 9.8 දක්වා පහළ ගියේය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, June 30, 2023