නිදහසින් පසු උද්ගත වූ වඩාත්ම අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් කෙරෙහි ශ්‍රී ලංකාව 2022 වසරේදී මුහුණ දුන්නේය. 2019 වසරේදී පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාර, 2020 වසරේදී කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම සහ එමගින් 2021 වසරේදී ද ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සිදු වූ බලපෑම, අහිතකර ගෙවුම් ශේෂ පීඩන මධ්‍යයේ 2022 වසරේදී සිදු වූ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදය මෙන්ම පෙර නොවූ පරිදි ප්‍රතිපත්ති වෙනස්කිරීම් මගින් වූ බලපෑම ඇතුළු මෑත වසරවලදී පැවති අඛණ්ඩ ආර්ථික අභියෝග මගින් පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට අපේක්ෂා නොකළ අන්දමේ දුෂ්කරතා ඇති කරමින් ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් සිදු කරන ලදී. පුද්ගලයින්ගේ ජීවනෝපායන් අහිමි වූ අතර මූර්ත ආදායම බොහෝසෙයින් පහළ ගියේය. මෙම ආර්ථික අභියෝග මෙන්ම කාලානුරූපී නොවන ප්‍රතිපත්තිමය තීරණ මගින් දශක ගණනාවක් මුළුල්ලේ ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර තුළ පැවති ව්‍යුහාත්මක ගැටලු තවදුරටත් උග්‍ර කළ අතර, එමගින් සාර්ව ආර්ථික සමතුලිතතාවය බිඳ වැටීම හේතුවෙන් රටෙහි විවිධ අංශවල පසුබෑමක් ශීඝ්‍රයෙන් ඇති විය.