Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රෙගුලාසි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 10 (ඇ) වගන්තිය ප්‍රකාරව 2023 අංක 01 දරන මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රෙගුලාසි නිකුත් කරන ලද අතර එය 2023.08.09 දිනැති අංක 2344/17 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම රෙගුලාසි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන සියලුම මූල්‍ය සේවා සපයන්නන් සඳහා ඒකාකාරීව අදාළ වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමු, විශේෂයෙන් බැංකු පනත, මූල්‍ය ව්‍යාපාර පනත සහ කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කර ඇති මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ විධානයන් ශක්තිමත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. තවද, ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් සැලකිල්ලට ගෙන ගොඩ නගා ඇති මෙම රෙගුලාසි මඟින් ශ්‍රී ලංකාව තුළ විශ්වාසනීය සහ ස්ථාවර මූල්‍ය පද්ධතියක් වැඩි දියුණු කිරීමට පහසුකම් සලසමින් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් සිදු කරනු ලබන වෙළෙඳපොල හැසිරීම් අධීක්ෂණය සඳහා අවශ්‍ය පදනම ස්ථාපිත කර ඇත.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර පහක් (5) මඟින් පියවීම

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2023 ජුලි 04 වන දින ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා වන හුවමාරු යෝජනාව සහ ඉන් අනතුරුව නිවේදනය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා වන හුවමාරු ආරාධනයෙහි ප්‍රතිඵලවලට අනුව, (හුවමාරු යෝජනාවේ අර්ථ දක්වා ඇති පරිදි) හුවමාරුව සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (සුදුසුකම් ලත් බැඳුම්කර), නව විචල්‍ය කූපන් අනුපාතික යටතේ (නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය* +1.00%) පහත දැක්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර පහක් (5) ලෙස පරිවර්තනය කර, 2023.08.15 දින පියවීම් සිදු කරන ලදී:

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - ජූලි 2023

2023 ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් ද පෙන්නුම් කරන ලදී.

නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීමේ යම්  ප්‍රමාදයක් පිළිඹිබු කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 ජූලි මාසයේදී 44.6ක දර්ශක අගයක් වාර්තා  කරමින් අඛණ්ඩව පහත වැටුණි. මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ පසුබැස්ම හේතු විය.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්හි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, 2023 ජූලි මාසයේ දී දර්ශකාංක 59.5ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, ජූලි මාසය තුළ දී නිමකිරීමට නියමිත කාර්යයන් අඩු අගයක පැවතුනි.

ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 අගෝස්තු මස 08 වන දින පැවති රැස්වීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2023 අගෝස්තු මස 16 වන දින ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට තීරණය ක‍ළේය. මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව, බැංකු පද්ධතිය සඳහා ද්‍රවශීලතාව සැපයීම සහ වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය ස්ථිර පදනමින් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය දියත් කරනු ලබයි

මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ මුල පිරීම් හි උපාය මාර්ගික දිශානතිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වූ වෙබ් අඩවිය, 2023 අගෝස්තු මස 04 වන දින දියත් කරන ලදී.

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වූ මෙම වෙබ් අඩවිය, 2018 වසරේ සිට මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීමෙහි ලා ශ්‍රී ලංකා මහ බැංකුවේ දිගු කාලීන හවුල්කරුවෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ මූල්‍ය සහාය ඇතිව නිර්මාණය කරන ලදී. මෙම නවතම මුල පිරීම, ශ්‍රී ලංකාව සඳහා වන සමස්ත මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයේ එක් කොටසක් වන අතර එ් හරහා රටේ සියලුම කුටුම්භ සහ ව්‍යවසායන් සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි, කාර්යක්ෂම සහ දැරිය හැකි මිලකට මූල්‍ය සේවාවන් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ලදී.

ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් පවත්නා වැරදි තොරතුරු පැහැදිලි කිරීම

ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මහජනතාව අතර සංසරණය වන සමහර වැරදි අර්ථකථන, පැහැදිලි කිරීම මෙමඟින් බලාපොරොත්තු වේ.

ජාත්‍යන්තර වෙළෙඳාම සහ දේශ සීමා අතර සිදුවන බැංකු ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර තෝරාගත් විදේශ ව්‍යවහාර මුදල්, නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස අනුමත කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1979 මැයි මස සිට වරින් වර නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් හඳුනාගෙන ඇත. 2022 අගෝස්තු මාසයේ දී අලුතෙන් ම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගය වූ ඉන්දියානු රුපියල ඇතුළු ව, බැංකු පනත සහ විදේශ විනිමය පනත යටතේ පවත්නා විධිවිධාන අනුව, දැනට විදේශ ව්‍යවහාර මුදල් වර්ග 16ක් අනුමත වී ඇති අතර, ඒවා පහත පරිදි වේ.

Pages