Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසර සඳහා සිය වාර්ෂික වාර්තාව නිකුත් කරයි

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 73වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත අද දින (2023 අප්‍රේල් මස 27) පිළිගන්වන ලදී.

නෝට්ටු ඇසුරුමක (බණ්ඩලයක) අඩුවීමක් වාර්තාවීම

2023.04.11 දින ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු අතරතුරේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තරයේ වූ සුරක්ෂිතාගාරයක් තුළ රුපියල් මිලියන 5ක (රුපියල් 5000 නෝට්ටු) වටිනාකමක් සහිත නෝට්ටු ඇසුරුමක (බණ්ඩලයක) අඩුවීමක් අනාවරණය විය. මේ සම්බන්ධව අභ්‍යන්තර විමර්ශනයක් වහා අරඹන ලද අතර කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. පොලිස් විමර්ශන කටයුතු දැනට සිදුවෙමින් පවතී. මෙම සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශන කටයුතු දැඩිව සිදු කිරීමට සහ අභ්‍යන්තර පාලනයන් හා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටී. තවද පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශන කටයුතු සඳහා  අවශ්‍ය සහායද අඛණ්ඩව ලබා දෙමින් සිටී.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - මාර්තු 2023

2023 මාර්තු මාසයේදී, නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධන කලාපයට නැවත ලඟා විය.

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය මාස නවයක්‌ අඛණ්ඩව පහත වැටීමෙන් පසු, 2023 මාර්තු මාසයේ දී 51.4ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන මාවතට අවතීර්ණ විය. පෙර මාසයට සාපේක්ෂ මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන යන උප-දර්ශකයන්ගේ ඉහළ යෑම දායක විය. එසේ වුවද, සේවා නියුක්තිය, තොග මිලදී ගැනුම්, සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන උප-දර්ශක කඩඉම් මට්ටමට වඩා පහළින් පැවතුනි. 

ආර්ථික දැක්ම පිළිබඳව මහ බැංකු අධිපතිවරයා පළ කළ අදහස් වැරදි ලෙස වාර්තා කිරීම සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීම

පසුගිය දිනක පැවති මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද අදහස් නිවැරදි නොවන ලෙස අර්ථකථනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පැහැදිලි කිරීම සිදු කරයි. එම මාධ්‍ය වාර්තාවලට අනුව ‘ඉදිරි කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය දැනට පවතින තත්ත්වයටත් වඩා දුෂ්කර වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා අපේක්ෂා කරන බව’ සඳහන් කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක් වේ. අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාද වුවහොත් හෝ අරමුණුවලින් බැහැරව කටයුතු කළහොත් ඉදිරි කාලය තුළ ආර්ථිකයට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලද අතර එම සමස්ත කරුණුවලින් බැහැරව අධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද අදහස් පිළිබඳ මෙලෙස සාවද්‍ය ලෙස අර්ථකථනය කර ඇත. 2022 වසරේදී ඇති වූ පෙර නොවූ අන්දමේ සමාජ-ආර්ථික අර්බුදවලට සාපේක්ෂව රජය සහ මහ බැංකුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද දුෂ්කර හා අසීරු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ආර්ථික තත්ත්වයන් ස්ථායී කිරීමට හේතු වී ඇති බව අධිපතිවරයාගේ අදහස විය.

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 03-2023 අප්‍රේල්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 අප්‍රේල් මස 04 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 15.50 සහ සියයට 16.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම ක්‍රියාත්මක වීමත් සමග වෙළඳපොළ අපේක්ෂා වැඩිදියුණු වීම මෙන්ම අඩු වෙමින් පවතින අවදානම් පිළිබිඹු කරමින් ඉහළ මට්ටම්වල පැවති වෙළඳපොළ පොලී අනුපාතික පහළ යෑම මධ්‍යයේ මෑත කාලීන හා අපේක්ෂිත ආර්ථික ප්‍රවණතා සහ දේශීය හා ගෝලීය වශයෙන් පවතින සාර්ව ආර්ථික පුරෝකථන සැලකිල්ලට ගෙන දැනට පවතින නිර්-උද්ධමන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට පහසුකම් සැලසීම සඳහා මුදල් තත්ත්ව ප්‍රමාණවත් ලෙස දැඩිව පැවතීම සහතික කිරීමට පවතින දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වාගෙන යෑම අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 මාර්තු මාසයේ දී තවදුරටත් පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 50.6හි සිට 2023 මාර්තු මාසයේ දී සියයට 50.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද 2023 වසරේ දී උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

Pages