ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

භාර, දේපළ ලියාපදිංචි කිරීම් මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් භාර හා දේපළ ලියාපදිංචි කිරීම් සම්බන්ධ ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා 2024 අගෝස්තු 06 වැනි දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන අනුව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම අවබෝධතා ගිවිසුමට එළැඹෙන ලදී.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්. ආර්. ඒ. එන්. එස්. විජයසිංහ මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය අදාළ ආයතන වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී. මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ඊ එච් මොහොට්ටි මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී විය.

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සඳහා නෛතික පුද්ගලයින් සහ නෛතික වැඩපිළිවෙලවල් අනිසි ලෙස භාවිතා කළ හැකි අතර, එමඟින් ජාතික සහ ගෝලීය ආර්ථික හා මූල්‍ය පද්ධතිවල ස්ථාවරත්වයට තර්ජනයක් ඇතිවිය හැකිය. නෛතික වැඩපිළිවෙලවල් යන්නට ප්‍රකාශිත භාරයක්, භාරකාරත්ව ගිණුමක් හෝ නාමිකයෙකු ඇතුළත් විය හැකිය. මෙම අවබෝධතා ගිවිසුම මගින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට භාර, දේපළ ලියාපදිංචි කිරීම් සහ ඒ ආශ්‍රිත ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් අදාළ තොරතුරු මූල්‍ය බුද්ධි ඒකකය වෙත සැපයීමට පහසුකම් සැලසෙනු ඇති අතර, එය මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ වැළැක්වීම, අනාවරණය කර ගැනීම සහ එම වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කර නඩු පැවරීම සඳහා ඉතා වැදගත් වනු ඇත.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, August 9, 2024