කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 ජූලි මාසයේ දී ඉහළ යෑමක් පෙන්නුම් කළ ද ඉලක්කගත මට්ටමට වඩා පහළ අගයක පැවතුණි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය,  2024 ජූලි මාසයේ දී සියයට 2.4ක් ලෙස වාර්තා විය. මෙම ඉහළ යෑම සමග වුවද, උද්ධමනය, ඉලක්කගත මට්ටම වන සියයට 5ට වඩා පහළ අගයක පැවතුණි.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජුනි මාසයේ පැවති සියයට 1.4හි සිට 2024 ජූලි මාසයේ දී සියයට 1.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය ද 2024 ජුනි මාසයේ පැවති සියයට 1.8හි සිට 2024 ජූලි මාසයේ දී සියයට 2.8 දක්වා ඉහළ ගියේය. 

මාසික පදනම මත මනිනු ලබන කො. පා. මි. දර්ශකය 2024 ජූලි මාසයේ දී සියයට 0.44ක පහළ යෑමක් වාර්තා කළේය. මේ සඳහා, ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.03ක මිල ඉහළ යෑමේ සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.47ක මිල පහළ යෑමේ ඒකාබද්ධ බලපෑම හේතු විය. මේ අතර, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2024 ජූලි මාසයේ දී සියයට 4.4ක් ලෙස  නොවෙනස්ව පැවතුණි.  

නුදුරු කාලීනව, උද්ධමනය ඉලක්කගත මට්ටම වන සියයට 5ට වඩා පහළ මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කෙරේ. මැදි කාලීනව, සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහායයෙන්, උද්ධමනය ක්‍රමයෙන් ඉලක්කගත මට්ටමට ළඟා වී, එම මට්ටම වටා ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, July 31, 2024