නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017දෙසැම්බර් මාසයේ දී වාර්තා කළ 59.1ක දර්ශක අගයට සාපේක්ෂ ව 2018 ජනවාරි මාසයේ දී 51.7ක දර්ශක අගයක් වාර්තා කළේ ය. ඒ අනුව 2017 වසරේ අවසාන මාස දෙක තුළ දී දක්නට ලැබුණු සෘතුමය ඉහළ යෑමෙන් අනතුරු ව, නිෂ්පාදන අංශයේ කටයුතු 2017 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව ජනවාරි මාසයේ දී අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කෙරේ. මේ සඳහා, නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශකවල දක්නට ලැබුණු මන්දගාමිත්වය ප්‍රධාන වශයෙන් හේතු විය. තව ද, සේවා නියුක්ති උප දර්ශකය 2017 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව 2018 ජනවාරි මාසයේ දී මන්දගාමී වූ අතර ගැනුම් තොග උප දර්ශකය පහත වැටීමක් පෙන්නුම් කරයි. මේ අතරතුර දී, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් ඉහළ ගියේ ය. තව ද, ගැනුම් තොග උප දර්ශකය හැර සෙසු සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලද අතර ඒ අනුව 2018 ජනවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සමස්තයක් ලෙස වර්ධනයක් පිළිබිඹු කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.














