Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2018 පෙබරවාරි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 ජනවාරි මාසයේ පැවති සියයට 5.4ට සාපේක්ෂ ව 2018 පෙබරවාරි මාසයේ දී සියයට 3.2ක් දක්වා පහළ ගියේ ය. මේ සඳහා, 2017 පෙබරවාරි මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙන් ම 2018 පෙබරවාරි මාසයේ දී පැවති සතුටුදායක සැපයුම් තත්ත්ව හේතුවෙන් ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම 2018 පෙබරවාරි මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම සැලකිය යුතු පහළ යෑමට හේතු විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 7.6 සිට 2018 පෙබරවාරි මාසයේ දී  සියයට 7.2 දක්වා පහළ ගියේ ය.

මාසික වෙනස් වීම සැලකූ විට, ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් පහළ යෑම, විශේෂයෙන් එළවළු, අමු මිරිස්, රතු ළූණු, සහල් සහ ලොකු ළූණු මිල ගණන් පහළ යෑම හේතුවෙන් ජාතික පාරිභෝගික මිල දර්ශකය 2018 ජනවාරි මාසයේ වාර්තා වූ දර්ශක අංක 125.8 සිට 2018 පෙබරවාරි මාසයේ දී දර්ශක අංක 123.7 දක්වා පහළ ගියේ ය. මේ අතර, ආහාර නො වන කාණ්ඩය තුළ සන්නිවේදන උප කාණ්ඩයේ  හැර අනෙකුත් සෑම උප කාණ්ඩයක ම මිල ඉහළ යෑම් දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2018 පෙබරවාරි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 ජනවාරි මාසයේ දී වාර්තා කළ 51.7ක දර්ශක අගයට සාපේක්ෂ ව 2018 පෙබරවාරි මාසයේ දී 55.6ක දර්ශක අගයක් වාර්තා කළේ ය. ඒ අනුව, 2018 ජනවාරි මාසයේ දී ඇති වූ සෘතුමය පහළ යෑමෙන් අනතුරු ව, පෙබරවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ කටයුතු වැඩි වේගයකින් වර්ධනය විය. මේ සඳහා, නව ඇණවුම් උප දර්ශකයේ ඉහළ යෑම ප්‍රධාන වශයෙන් ම බලපෑවේ ය. එ මෙන් ම, නව ඇණවුම් උප දර්ශකය ඉහළ යෑමත් සමඟ ම නිෂ්පාදන උප දර්ශකය ද ඉහළ ගියේ ය. එ සේ නමුත්, පෙබරවාරි මාසය තුළ රාජකාරී දින ගණන අඩු වීම හේතුවෙන්, මෙම ඉහළ යෑම නව ඇණවුම උප දර්ශකයේ ඉහළ යෑමට සාපේක්ෂ ව අඩු අගයක් වේ. තව ද, ගැනුම් තොග උප දර්ශකය ද මෙම මාසය තුළ දී ඉහළ ගිය අතර, සේවා නියුක්ති උප දර්ශකය සුළු වශයෙන් ඉහළ යන ලදී. මේ අතරතුර දී,  ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් ඉහළ ගියේ ය. තව ද, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරමින්, 2018 පෙබරවාරි මාසයේ දී සමස්තයක් ලෙස නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු විය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය හා ශ්‍රී ලංකාව අතර පැවැති හතරවන වගන්තිය යටතේ 2018 වසර සඳහා වූ සාකච්ඡා නිමා කොට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ ව ද සාකච්ඡා කරයි

සාමාජික රටක සංචාරය (දූත මෙහෙය) අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය විසින් බොහෝ විට නිකුත් කරනු ලබන සමාප්ති ප්‍රකාශනය මගින් එම නිලධාරීන්ගේ මූලික නිරීක්ෂණ විස්තර කෙරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පත් භාවිතා කිරීමට (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට) ඉල්ලීමක් කර ඇති විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා පනතේ හතරවන වගන්තිය යටතේ නිතිපතා (සාමාන්‍යයෙන් වාර්ෂික ව) සිදු කරනු ලබන උපදේශනවල කොටසක්, නිලධාරීන් විසින් අධීක්ෂණය කරනු ලබන වැඩසටහන්වලට අදාළ සාකච්ඡාවල කොටසක් හෝ ආර්ථික ප්‍රවණතා අධීක්ෂණය කරනු ලබන වෙනත් වැඩසටහන්වල කොටසක් ලෙස දූත මෙහෙයන් ක්‍රියාත්මක කෙරේ.  

මෙම ප්‍රකාශනය නිකුත් කිරීම සඳහා බලධාරීන්ගේ අනුමැතිය හිමිවී ඇත. මෙම ප්‍රකාශයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර, එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු කිරීම අත්‍යවශ්‍ය නො වේ. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගනිමින්, කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙල කෙරෙන අතර, එය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙනු ඇත.

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් අැන්ඩ් ෆිනෑන්ස් පී එල් සී වෙත නිකුත් කරන ලද බලපත්‍රය සහ ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීම පිළිබඳ පැහැදිලි කිරීමක්

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් අැන්ඩ් ෆිනෑන්ස් පී එල් සී වෙත 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද බලපත්‍රය සහ 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීම සම්බන්ධයෙන් 2018 මාර්තු 5 වැනි දින නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පැහැදිලි කරයි. 2017 දෙසැම්බර් 5 වැනි දින පුවත්පත් නිවේදනයක් මගින් මහජනතාව වෙත දැනුම් දුන් පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් අැන්ඩ් ෆිනෑන්ස් පී එල් සී ආයතනයේ සියලු ම රක්ෂිත තැන්පතුවලට ශ්‍රී ලංකා රක්ෂණ තැන්පතු සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයේ රෙගුලාසි අනුව තැන්පත්කරුවෙකු සඳහා රුපියල් 600,000ක උපරිමයක් දක්වා ගෙවීම් සිදු කරනු ඇත. 

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී වෙත 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද බලපත්‍රය සහ 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කරයි

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී සමාගමේ සිදු ව ඇති විවිධාකාර වංචනික කටයුතු සහ කළමනාකාරණ දුර්වලතා හේතු කොට ගෙන දැඩි මූල්‍ය ගැටලුවලට පසුගිය වසර හතර තුළ මුහුණ දීමට සිදු ව ඇත. සමාගමේ තැන්පත්කරුවන් පසුගිය වසර හතර පුරා ම සිය තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට අපොහොසත් වී ඇති අතර, විවිධ උපක්‍රම හරහා ආයතනය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ගත් සියලු ප්‍රයත්න අසාර්ථක විය. වර්තමානයේ පවතින තත්ත්වයෙන් ම මෙම සමාගම අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම තැන්පත්කරුවන්ට සහ අනෙකුත් සම්බන්ධිත පාර්ශ්වයන්ට තවදුරටත් අහිතකර විය හැක. 

මෙම තත්ත්ව සලකා බලා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් අැන්ඩ් ෆිනෑන්ස් පී එල් සී ආයතනය වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2018 මාර්තු 5 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අවලංතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළේ ය. ඒ අනුව, එම දිනයේ සිට බල පැවැත්වෙන පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් අැන්ඩ් ෆිනෑන්ස් පී එල් සී ආයතනයට 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කර ගෙන යෑමට අවසරයක් නොමැත. 

අනාගත පොලී අනුපාතික වෙනස්වීම් පිළිබඳ නොමග යවන සුළු පුවත්පත් වාර්තා සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිචාර දක්වයි

ඉදිරි කාලයේ දී දේශීය පොලී අනුපාතිකවල ඉහළ යෑමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන්නේ යැ යි මෑතක දී පළ වූ මාධ්‍ය වාර්තා කිහිපයක් පිළිබඳ ව ශ්‍රී ලකා මහ බැංකුවේ අවධානය යොමුව ඇත. මෙම වාර්තාවල පොලී අනුපාතික ඉහළ යෑමක් අපේක්ෂා කිරීම සඳහා හේතු වූ සාධක ලෙස සංචිත පහළ යෑම, අපේක්ෂිත මට්ටමට වඩා වූ ඉහළ ආනයන සහ රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළ ඉහළ ගිය පොලී අනුපාතික යනාදිය දක්වා ඇත. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන පුරෝකථනවලට අනුව, මෑත කාලීන ව වෙළෙඳපොළ පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා නො කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. මතුපිට උද්ධමනය, මූලික උද්ධමනය, උද්ධමන අපේක්ෂා, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය, ණය ප්‍රසාරණය, ආර්ථික කටයුතුවල ප්‍රසාරණය මෙන් ම ජාත්‍යන්තර සංචිත මට්ටමේ මෑත කාලීන වෙනස්වීම්වලට අනුව තාර්කික වෙළෙඳපොළක් පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා කරන්නේ යැ යි සාධාරණීයකරණය කළ නො හැක.

Pages

නිවේදන