නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 අප්‍රේල් මාසයේ දී 45.5ක දර්ශක අගයක් වාර්තා කරමින් මාර්තු මාසයට සාපේක්ෂ ව දර්ශක අගයන් 20.1කින් පහත වැටුණි. පෙර වසරවල දී ද පැවැති ප්‍රවණතාවට අනුකූල ව, මාර්තු මාසයේ දී ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන ක්‍රියාකාරකම් අප්‍රේල් මාසයේ දී අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් පසුගාමී විය. මෙ ලෙස නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශක පහත වැටීම හේතු විය. ගැනුම් තොග සහ සේවා නියුක්ති උප දර්ශක ද අප්‍රේල් මාසයේ දී පහත වැටුණි. තව ද, සැපයුම්කරුවන්ගේ අඩු කාර්ය බහුලත්වය පිළිබිඹු කරමින් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය උප දර්ශකයේ ඉහළ යෑම අඩු විය. අවුරුදු නිවාඩුවෙන් පසු සේවකයන්, අනුමැතියකින් තොර ව සේවයට වාර්තා නො කිරීම නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් බව මෙම සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දක්වන්නන්ගේ අදහස විය. තව ද, විශේෂයෙන් රෙදිපිළි හා ඇඟළුම් අංශයේ ප්‍රතිචාර දක්වන්නන් පුහුණු සහ නුපුහුණු සේවකයන් සොයා ගැනීමේ ඇති අපහසුතාව ඉස්මතු කරන ලදී.