Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ඉඩම් මිල දර්ශකය - 2018 වසර පළමු භාගය

ශ්‍රී ලංකා මහ බැංකුව නිශ්චල දේපොළ අංශයෙහි ප්‍රවණතා අධීක්ෂණය කිරීමේ අරමුණින් දර්ශක කිහිපයක් සම්පාදනය කිරීම සහ විශ්ලේෂණය කිරීම සිදු කරයි. මේ අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉඩම් මිල දර්ශකය, 1998 වසර පදනම් වර්ෂය කර ගනිමින් 1998 සිට 2008 වසර දක්වා වාර්ෂිකව සහ 2009 සිට 2017 වසර දක්වා අර්ධ වාර්ෂිකව, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි ප්‍රදේශ 50ක ඉඩම් මිල ගණන් භාවිතා කරමින් ගණනය කර තිබේ. නිශ්චල දේපොළ අංශයෙහි මෑත කාලීන ප්‍රවණතා හේතුවෙන් ඉඩම් මිල අධීක්ෂණය කිරීමෙහි අවශ්‍යතාවය වර්ධනය වීමත් සමඟ, ඉඩම් මිල දර්ශකයේ භූගෝලීය ආවරණය කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ප්‍රදේශ 82 ක් දක්වා වැඩි කළ අතර එහි පදනම් වර්ෂය 1998 වසරේ සිට 2017 වසරේ පළමු භාගය දක්වා සංශෝධනය කරන ලදී. භූගෝලීය ආවරණය වැඩි කරන ලද මෙම ඉඩම් මිල දර්ශකය 2017 වසරේ සිට අර්ධ වාර්ෂිකව ලබා ගත හැක.

2018 සැප්තැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 අගෝස්තු මාසයේ දී පැවැති සියයට 2.5 ට සාපේක්ෂ ව 2018 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.9 ක් දක්වා පහළ ගියේ ය. මෙම පහළ යෑම සඳහා පදනම් බලපෑම සහ ආහාර මිලෙහි වූ මාසික පහළ යෑම හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 4.7 සිට 2018 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගියේ ය. 

මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2018 අගෝස්තු මාසයේ වාර්තා වූ දර්ශක අංක 125.4 සිට 2018 සැප්තැම්බර් මාසයේ දී දර්ශක අංක 124.4 දක්වා පහළ යෑමට ආහාර කාණ්ඩයේ අයිතමවල මිලෙහි පහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එයට විශේෂයෙන් එළවළු, පොල්, අමු මිරිස් සහ නැවුම් මත්‍ස්‍ය අයත් වේ. මේ අතර, ආහාර නො වන කාණ්ඩය තුළ මිල ඉහළ යෑම් දක්නට ලැබුණු අතර විශේෂයෙන් මධ්‍යසාර පාන වර්ග සහ දුම්කොළ; ප්‍රවාහන; හා ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩ මේ සඳහා දායක විය.

ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමක් ලබාගන්නා ලදී

එක්සත් ජනපද ඩොලර් හෝ ජපන් යෙන් හෝ යූරෝ හෝ ඒවායේ සංයෝජනයකින් නාමනය කරන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 1000 ක ප්‍රමාණයක් දක්වා වූ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2018 මාර්තු මාසයේ දී දේශීය සහ විදේශීය බැංකු සහ ආයෝජන ආයතනයන්ගෙන් යෝජනාවන් කැඳවන ලදී.

ඒ අනුව, දේශීය සහ විදේශීය බැංකු  සහ ආයෝජන ආයතනයන්ගෙන් යෝජනා හතරක් ලැබී තිබුණි.  අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද මෙහෙයුම් කමිටුව සහ තාක්ෂණික ඇගයීම් කමිටුව මඟින් සිදුකරන ලද ඇගයීම් සහ යෝජනා ඉදිරිපත්කරන ලද  ආයතනයන් සමග පැවති සාකච්ඡා මත පදනම්ව අඩුම පිරිවැයක් සහ වැඩිම පරිණත කාලයක් සහිත යෝජනාව ඉදිරිපත් කරන ලද චීන සංවර්ධන බැංකුව තෝරා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 සැප්තැම්බර්

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 අගෝස්තු මස වාර්තා කළ 58.2ක අගයට සාපේක්ෂ ව 2018 සැප්තැම්බර් මාසයේ දී 54.1ක දර්ශක අගයක් දක්වා අඩු විය. මෙම අඩු වර්ධනය සඳහා, විශේෂයෙන් ම ආහාර සහ පාන අංශය ඇතුළු ව නව ඇණවුම් සහ නිෂ්පාදනවල වර්ධනය අඩු වීම හේතු විය. සමීක්ෂණයට ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කළ පරිදි රුපියල අවප්‍රමාණය වීමත් සමඟ ම ආනයනික අමු ද්‍රව්‍යයන්හි මිල ඉහළ යෑම හේතුවෙන් භාණ්ඩ වල මිල ඉහළ දැමීමට සිදු විය. එම නිසා, භාණ්ඩවල ඉල්ලුම පහත වැටුණු අතර, එය නව ඇණවුම් සහ නිෂ්පාදනවල වර්ධනය අඩු වීමට හේතු විය. කෙ සේ වුව ද, වැඩි වශයෙන් අපනයන නැඹුරුතාවක් සහිත රෙදිපිළි හා නිමි ඇඳුම් අංශයේ නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ ගියේ ය. තව ද, සේවා නියුක්තිය සහ ගැනුම් තොග ද යම් අඩු වර්ධනයක් පෙන්නුම් කළේ ය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ඉහළ යෑම තුළින් මෑතකාලීන ව ආර්ථිකය වර්ධනය වන බව සාමාන්‍යයෙන් පිළිබිඹු වේ. එ නමුත්, මෙම මස තුළ දී ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යම් වැඩිවීමක් පෙන්නුම් කරන ලද්දේ නිෂ්පාදකයින් විසින් රුපියල ස්ථාවර වේ යැ යි බලාපොරොත්තුවෙන් සැපයුම් ලබා ගැනීමට වැඩි කාලයක් ගත කිරීම හේතුවෙනි. එම නිසා, ආර්ථික ක්‍රියාකාරකම්හි වැඩි වීමක් එ මඟින් පිළිබිඹු නො වේ. සමස්තයක් ලෙස, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. ඒ අනුව, 2018 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම්, 2018 අගෝස්තු මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කෙරෙයි.

2015.02.01 සිට 2016.03.31 දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳ ව පරීක්ෂා කිරීම, විමර්ශණය කිරීම සහ වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය

ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුකූල ව ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ මෙහෙයුම් අංශයන් හා බැඳුණු ක්‍රියාවලියන්හි විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර කිරීමේ අභිලාෂයෙන්  ආරම්භ කරන ලද්දා වූ සහ ක්‍රියාවට නැංවූ පියවර පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක වන නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීම සඳහා, පියවර රැසක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත.  මුදල් නීති පනතට සහ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම් ආඥා පනතට සංශෝධන මේ වනවිට සකස් කරමින් පවතී.

භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ ව නව වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දීම මඟින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලිය ශක්තිමත් කර ඇත.  භාණ්ඩාගාර බිල්පත් සඳහා ද ඊට සමාන ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී.  ලංසු තැබීමට පෙර පවත්වනු ලබන රැස්වීම නිරන්තරයෙන් පවත්වනු ලබන අතර, වෙන්දේසි දින දර්ශනය කල් තබා ප්‍රසිද්ධ කිරීමත් සම්පූර්ණ පිරිනමන මුදල ඉක්මවා ලංසු භාර නො ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමත් සිදු කර ඇත.  නිකුතුව හා සම්බන්ධ ක්‍රියාවලියට අදාළ අභ්‍යන්තර පාලන ක්‍රම වේද වඩාත් ශක්තිමත් කර ඇති අතර මෙහෙයුම් අත් පොත යාවත්කාලීන කර ඇත.

රුපියල අවප්‍රමාණයවීම පිළිබඳ නොමග යවන සුළු පුවත්පත් වාර්තා සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිචාරය

”Government and CB have abdicated vital statutory duty by not being able to deal with rupee depreciation” යන මැයෙන් ඔක්තෝබර් 08 සහ 09 යන දිනවල විවිධ පුවත්පත්වල පළවූ ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත දැක්වෙන ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අදහස් කරයි.

ශ්‍රී ලංකාවේ ඵලදායි සම්පත් සංවර්ධනය දිරිගැන්වීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ දැක්ම සහිතව, අ) ආර්ථික හා මිල ස්ථායිතාව; සහ ආ) මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව සුරක්ෂිත කීරීමේ ව්‍යවස්ථාපිත වගකීම මුදල් නීති පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පවරා ඇත. අභ්‍යන්තර හා බාහිර කම්පනයන්ට සාර්ථකව මුහුණදීමට ඇති හැකියාව මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව ලෙස හඳුන්වන අතර, ඉහළ සහ තිරසාර මට්ටමක ආර්ථික වර්ධනයට උපකාරී වන ආර්ථික සාධක පවත්වා ගැනීමට ඉවහල් වන ලෙස උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම මිල ස්ථායිතාව ලෙස නිර්වචනය කෙරේ.

Pages