ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ් - 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද බලපත්‍රය අවලංගු කිරීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස ක්‍රියාත්මක වූ ටී කේ එස් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය එම පනතේ ප්‍රතිපාදනයන් සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති ගණනාවක් අඛණ්ඩවම කඩ කරමින් / පටහැනි ලෙස කටයුතු කරමින් පැවති අතර ප්‍රාග්ධන ඌණතාවය, වත්කම් වල අඩු ගුණාත්මක මට්ටම, අඛණ්ඩ අලාභ ලැබීම හා කල්පිරුණු විටදී හෝ ඉල්ලා සිටි විටදී තැන්පතු මුදල් ආපසු ගෙවිමට අපොහොසත් වීම හේතුකොට ගෙන ආයතනයේ මූල්‍ය තත්ත්වය පරිහානියට පත් වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන හා ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති සමග අනුගත වීම සඳහා ටී කේ එස් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත අවස්ථා ගණනාවක දී කාලය දීර්ඝ කිරීම් සිදු කරන ලද අතර එසේ වුවද ආයතනයේ පවතින අවධානම් සහගත මූල්‍ය තත්ත්වය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා සාධනීය පියවර ගැනීමට ටී කේ එස් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය අපොහොසත් වී ඇත.

ආයතනයේ පැවති බරපතල ගැටළු සහගත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තැන්පතු සහ ණය දීම සම්බන්ධව උපරිම සීමා පැනවීම්, නව තැන්පතු බාර ගැනීම තහනම් කිරීම, නව ණය පහසුකම් සහ අත්තිකාරම් ලබා දීම තහනම් කිරීම සහ ආයෝජන සම්බන්ධව සීමා කිරීම් පැනවීම් වැනි නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් බලාත්මක කරන ලදී. කෙසේ වුවද, එම නියාමන ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව ද ආයතනය විසින් පිළිගත හැකි මට්ටමේ ප්‍රගතියක් පෙන්වීමට අපොහොසත් විය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2019 ජූලි මස 10 වන දින සිට ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීම සඳහා නිවේදනයක් නිකුත් කරන ලදී. ටී කේ එස් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත මෙම නිවේදනයට එරෙහිව එසේ ආයතනයේ බලපත්‍රය අවලංගු නොකිරීමට හේතු දක්වමින් දක්වා ඇති කාල සීමාව තුලදී ලිඛිත විරෝධතාවයන් පල කිරිමට හැකියාව පැවති අතර ඒ අනුව ආයතනය විසින් එම විරෝධතාවයන් මුදල් මණ්ඩලය වෙත 2019 අගෝස්තු 02 සහ 08 යන දිනැති ලිපි මගින් බාර දෙන ලදී.

ටී කේ එස් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවයන් පලකිරීමෙහි අන්තර්ගත හේතු/ යෝජනා මගින් අදාල බලපත්‍රය අවලංගු කිරීමේ නිවේදනය ආපසු කැඳවීමට තරම් ප්‍රමාණවත් සහ සැලකියයුතු හේතු සාධක ඉදිරිපත් නොවීම නිසා මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනතේ 37 වැනි වගන්තිය ප්‍රකාරව ටී කේ එස් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත මුදල් ව්‍යාපාර පනත යටතේ ලබා දී තිබූ බලපත්‍රය 2019 සැප්තැම්බර් 19 වන දින සිට අවලංගු කිරීමට තීරණය කරන ලදී.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක වැඩසටහන විසින් එහි රෙගුලාසි වලට යටත්ව එක් රක්ෂිත තැන්පත්කරුවකුට උපරිමය රුපියල් ලක්ෂ 06 කට යටත්ව රක්ෂණ වන්දි ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත. තවද, ආයතනයේ තැන්පත්කරුවන්ට සිය ඉතිරි තැන්පතු වලින් කොටසක් ආයතනයේ ඈවර කිරීමේ ක්‍රියාවලියේ දී මුදල් සමාගම් ගණන් බේරා වසා දැමීමේ දී හිමිකම් පෑ‍ම සම්බන්ධව වන රෙගුලාසීන් හි ප්‍රතිපාදන වලට යටත්ව ආපසු ලබා ගැනීමේ හැකියාවක් පවතී. ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව තැන්පත්කරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ටී කේ එස් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයෙන් ණය ලබාගත් සියළු පාර්ශ්‍වයන් සිය ගෙවීම් එම ආයතනය නමින් පවතින බැංකු ගිණුම් හරහා නියමිත වේලාවට සිදු කල යුතු අතර එම සියළු ගෙවීම් සම්බන්ධව වාර්තා පවත්වා ගනිමින් ඇති විය හැකි නීතිමය ගැටළු මගහරවා ගන්නා ලෙස දැනුම් දෙනු ලැබේ.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකු‍වේ බැංකු‍ නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ 011-2398806 සහ 011-2398774 යන දුරකථන අංක ඇමතීමෙන් හෝ snbfi_query@cbsl.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ලබා ගත හැකි බව දන්වා සිටිමු.

Published Date: 

Thursday, September 19, 2019