මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 3

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය, අපේක්ෂිත පරිදි 2017 මාර්තු මාසයේ දී පැවැති සියයට 7.3 සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 6.9 දක්වා අඩු වූ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය ද පෙර මාසයේ දී වාර්තා කරන ලද සියයට 7.3 සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 6.8 දක්වා අඩු විය. 2017 මාර්තු මාසයේ දී ඉහළ ගිය ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013=100) මගින් මනිනු ලබන උද්ධමනය ද, 2017 අප්‍රේල් මාසයේ දී එ වැනි ම අඩු වීමක් පෙන්නුම් කරනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 2016 වසරේ දී සිදු කරන ලද බදු සංශෝධනවල පදනම් බලපෑම සහ සැපයුම් අංශයෙහි ඇති වන කෙටිකාලීන අවහිරතා හේතුවෙන් යම් මාසවල දී උද්ධමනයෙහි කිසියම් උච්චාවචන ඇති වුව ද, 2015 වසර අවසානයේ සිට මුදල් ප්‍රතිපත්තියෙහි සිදු කරන ලද ගැලපීම් හේතුවෙන් 2017 වසර අවසානය වන විට උද්ධමනය අපේක්ෂිත මැදි තනි අගයක මට්ටම දක්වා ක්‍රමානුකූල ව අඩු වනු ඇතැ යි පුරෝකථනය කෙරේ.

වෙළෙඳපොළ පොලී අනුපාතික ඉහළ යෑමත් සමඟ, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2016 වසර අවසානයේ වාර්තා වූ සියයට 21.9 සිට 2017 පෙබරවාරි අවසානය වන විට සියයට 21.0 දක්වා සහ 2017 මාර්තු මස අවසානය වන විට සියයට 20.4 දක්වා ක්‍රමික ව පහළ ගියේ ය. කෙ සේ වෙතත්, 2017 වසරේ පළමු මාස දෙක තුළ පුළුල් මුදල් සැපයුමේ ව‍ාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයෙහි කිසියම් අඩු වීමක් දක්නට ලැබුණ ද, පෞද්ගලික අංශයට සහ රාජ්‍ය අංශයට සපයන ලද ණය ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් පුළුල් මුදල් සැපයුමෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2016 වසර අවසානයෙහි පැවැති සියයට 18.4 හා සැසඳීමේ දී 2017 මාර්තු මාසය අවසාන වන විට සියයට 20.0ක ඉහළ අගයක පැවතුණි. ජාත්‍යන්තර බලශක්ති මිල ගණන් ඉහළ යෑම හා නියඟ තත්ත්වයෙහි බලපෑම් හේතුවෙන් රාජ්‍ය සංස්ථා වෙත සපයන ලද ණය ප්‍රමාණය ඉහළ යෑම ද මෙයට අයත් වේ. නාමික සහ මූර්ත වෙළෙඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණයෙහි වර්ධනය 2017 වසර අවසානය වන විට අපේක්ෂිත මට්ටම් දක්වා අඩු වනු ඇතැ යි පුරෝකථනය කෙරේ. 

විදේශීය අංශය සැලකූ විට, 2016 වසරේ පළමු මාස දෙක තුළ  එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2ක් වූ වෙළෙඳ ශේෂයෙහි සමුච්චිත හිඟය 2017 වසරේ පළමු මාස දෙක තුළ  එක්සත් ජනපද ඩොලර් බිලියන 1.7 දක්වා තව දුරටත් පුළුල් විය. අපනයන ආදායම්වල පහළ යෑම සහ විශේෂයෙන් නියඟ තත්ත්වය හේතුවෙන් ආනයන වියදම්වල ඉහළ යෑමේ ඒකාබද්ධ බලපෑම මෙ මගින් පිළිබිඹු විය. 2017 වසරේ පළමු කාර්තුව තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි කොටසක් වසා තිබුණ ද, වසරේ පළමු සිව් මස තුළ සංචාරක පැමිණීම් සහ ඒ හා සම්බන්ධ ආදායම් තත්ත්වයේ ඉහළ යෑමක් දක්නට ලැබුණු අතර වසරේ පළමු කාර්තුව තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කිසියම් දුරකට මන්දගාමී විය. මෙම මාසය තුළ දී රජය  එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක වටිනාකමින් යුතු 11 වැනි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සියයට 6.2ක් වූ හිතකර පොලී අනුපාතිකයක් යටතේ නිකුත් කළ අතර ගත වූ මාස කිහිපය තුළ දී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත මෙන් ම කොළඹ කොටස් හුවමාරුව වෙත ද විදේශ ආයෝජන ප්‍රවාහ ගලා එනු දක්නට ලැබිණ. මෙම අරමුදල් ප්‍රවාහ සමඟ රජය වෙත ලැබෙතැ යි අපේක්ෂිත අනෙකුත් මූල්‍ය ලැබීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම යටතේ අපේක්ෂිත තුන් වැනි වාරිකය ලැබීම හේතුවෙන් රටේ විදේශ සංචිත තත්ත්වය සහ ගෙවුම් ශේෂය යහපත් වනු ඇතැ යි බලාපොරොත්තු වේ. දළ නිල සංචිත ප්‍රමාණය 2016 වසරේ අවසානයෙහි පැවැති  එක්සත් ජනපද ඩොලර් බිලියන 6.0 හා සාපේක්ෂ ව 2017 අප්‍රේල් මස වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 5.0 ක් වූ අතර 2017 වසරේ මැයි මස 5 වැනි දින වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව ශ්‍රී ලංකා රුපියල සියයට 1.5කින් අවප්‍රමාණය වී ඇත.                    

ඉහත කරුණු සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 මැයි මස 8 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලය අදහස් කළේ ය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.75 මට්ටමේ තවදුරටත් නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. අවශ්‍ය වුව හොත් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණ ඇති ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි කාලය තුළ දී සාර්ව ආර්ථික වර්ධනයන් සමීප ව අධීක්ෂණය කරනු ඇත. 

මුදල් ප්‍රතිපත්ති තීරණය -                                       ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) -      සියයට 7.25

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) -             සියයට 8.75

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) -                    සියයට 7.50

Published Date: 

Tuesday, May 9, 2017