Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 ජූලි

වෙ‍ළෙඳ භාණ්ඩ ආනයන වියදම අඩු වීම හමුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ  ප්‍රේෂණ ඉහළ යෑම හේතුවෙන්  2020 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් විය. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද, කැපී පෙනෙන වර්ධනයන් කිහිපයක් නිරීක්ෂණය කරන ලදී. වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ ජනවාරි සිට ප්‍රථම වරට ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවා ගිය අතර, 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසු ප්‍රථම වරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ධනාත්මක වර්ධනයක් වාර්තා කළේ ය. අත්‍යවශ්‍ය නො වන භාණ්ඩ ආනයන සීමා කිරීම් තවදුරටත් ක්‍රියාත්මක වීම හමුවේ අපේක්ෂා කළ පරිදි වෙළෙඳ භාණ්ඩ ආනයන පහළ මට්ටමක පැවතියේ ය. 2020 වසරේ ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබුණු අතර, එය 2018 ජනවාරි මාසයේ සිට වාර්තා වූ ඉහළ ම මාසික ප්‍රේෂණ ප්‍රමාණයයි. මේ අතර, 2020 වසරේ ජූලි මාසය අවසානය වන විට ඉන්දියානු සංචිත බැංකුව වෙතින් දකුණු ආසියානු කලාපීය සහයෝගීතා මූල්‍ය සංවිධානය (SAARCFINANCE) යටතේ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ලැබීමත් සමඟ රටේ දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.1ක් දක්වා ඉහළ ගියේ ය.

'රට පුරා ම LANKAQR' මහජන දැනුම්වත් කිරීමේ වැඩසටහන මාතලේ දී දියත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව මුල්‍ය ආයතන සමඟ එක් ව LANKAQR ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ වැඩසටහන “රට පුරාම LANKAQR“ යන තේමාව යටතේ දීපව්‍යාප්ත වැඩසටහනේ පළමු අදියර ලෙස 2020 සැප්තැම්බර් මස 12 වන දින “මාතලේට LANKAQR“ තේමාව මත ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්විණි. මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහභාගී විය. බලපත්‍රලාභී මුල්‍ය ආයතන, ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතිවල බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවන් ලෙස ක්‍රියා කරන දුරකථන සමාගම් මෙන් ම ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම් නියෝජිතයන්, මාතලේ ප්‍රදේශයේ ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් මෙම උත්සවයට සහභාගී විය. මෙම වැඩසටහනෙහි අරමුණ වුයේ LANKAQR කේත පදනම් කර ගත් ඩිජිටල් ගෙවීම් භාවිතය දිරිමත් කිරීම සහ එමගින් පාරිභෝගිකයාට, ව්‍යාපාරිකයාට සහ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමයි.

"ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2020" ප්‍රකාශනය නිකුත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ, වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2020” මහජනතාවගේ පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.

මෙම වසරේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වැනි සංවත්සරයට සමගාමීව සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රකාශනයේ අන්තර්ගතය, පරිශීලනය වඩාත් පහසු වන ලෙස නැවත පෙළගස්වන ලද අතර, තවත් සංඛ්‍යාන ප්‍රකාශනයට එක් කිරීමට ද කටයුතු කරන ලදී. ඒ අනුව, නව අනුවාදයේ සංඛ්‍යාන වගු ක්ෂේත්‍ර අටක් යටතේ වර්ගීකරණය කර ඇත. එනම්, 'ජාතික ගිණුම්', ආර්ථික හා සමාජ යටිතල පහසුකම්', 'මිල, වැටුප් සහ සේවා නියුක්තිය', 'විදේශ වෙළඳාම හා මූල්‍ය', 'රාජ්‍ය මූල්‍ය', 'මුදල් සහ ප්‍රාග්ධන වෙළඳපොළ','මුදල් අංශය' සහ අනෙකුත් රටවල සංඛ්‍යාන වශයෙනි.

මුද්‍රිත සහ වෙබ් යන මාධ්‍ය දෙකෙන්ම ලබා ගත හැකි මෙම ප්‍රකාශනය, සමාජ හා ආර්ථික සංඛ්‍යාන පිළිබඳව උනන්දු වන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වනු ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 අගෝස්තු මාසයේ දී පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේය. 2019 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 10.9හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 12.3 දක්වා ඉහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 1.5හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 0.8 දක්වා පහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.8ක් ලෙස නොවෙනස්ව පැවතුණි.

ඉඩම් තක්සේරු දර්ශකය - 2020 වසරේ පළමු භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2020 වසරේ පළමු භාගයේ දී 141.6 ක අගයක් වාර්තා කරන ලද අතර, එහි වාර්ෂික වර්ධනය සියයට 7.1 ක් විය. මේ අතර, අර්ධ වාර්ෂික පදනම මත ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සියයට 2.0 ක් විය. පසුගිය කාල පරිඡේදයන්හි දී ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික සහ අර්ධ වාර්ෂික වර්ධනයන් පහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන ලදී.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය. වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 7.2 ක අගය කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වාර්තා වූ අතර, නේවාසික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි වර්ධනයන් සියයට 7.1 ක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ ඉල්ලුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2020 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කරයි

2020 අගෝස්තු 19 වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ කාලසීමාව දීර්ඝ කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකිය.

Pages