"ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2021" ප්‍රකාශනය නිකුත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2021" වාර්ෂික ප්‍රකාශනයෙහි වෙබ් පිටපත මහ බැංකු වෙබ් අඩවිය ඔස්සේ මහජන පරිශීලනය සඳහා නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 44 වන වෙළුමයි.

ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වය, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය, සහ, මුදල්, බැංකු කටයුතු සහ මූල්‍ය වශයෙන් ශීර්ෂ 14 ක් යටතේ දත්ත මෙම ප්‍රකාශනයෙහි ඇතුළත් වේ.

පුළුල් පරාසයක් ආවරණය කෙරෙන නවතම සමාජ ආර්ථික දත්ත මෙහි සාරාංශ කර ඇති අතර, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ශාස්ත්‍රලාභීන්ට, වෘත්තිකයන්ට හා සිසුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද මෙම ප්‍රකාශනය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය (http://www.cbsl.gov.lk) ඔස්සේ මෙම ප්‍රකාශනයේ වෙබ් පිටපත මේ වනවිට ලබා ගත හැකි අතර, මිල රුපියල් 50/- ක් වන මුද්‍රිත පිටපත, කොළඹ 01, චැතැම් වීදීයේ, සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලෙහි (දුරකථන අංක: 011-2444502) හා රාජගිරියේ, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 58, බැංකු විදු පියෙසෙහි (දුරකථන අංක: 011-2477803) පිහිටුවා ඇති බෙදාහැරීමේ කවුළු වලින් සහ මාතර, මාතලේ, නුවරඑළිය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය හා අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලවල පිහිටුවා ඇති බෙදාහැරීම් කවුළු වලින් නුදුරේදීම මිල දී ගැනීමට හැකි වනු ඇත.

Published Date: 

Thursday, September 30, 2021