Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 08 - 2021 නොවැම්බර්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 නොවැම්බර් මස 24 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. ප්‍රධාන වශයෙන් සැපයුම් අවහිරතා සහ ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ඉහළ යෑම හේතුවෙන් මෑතකාලීනව උද්ධමනය ඉහළ යෑම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර, ඉදිරි කාලය තුළදී ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟාවීම සඳහා සහාය වන අතරම, සුදුසු ක්‍රියාමාර්ග මගින් මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම සඳහා වන සිය කැපවීම මුදල් මණ්ඩලය නැවත අවධාරණය කරන ලදී.

ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ දී ඉහළ ගියේය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3 දක්වා ඉහළ ගියේය. මේ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 10.0හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 11.7 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 3.0හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.4 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.5හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ ගියේය.

මුදල් මණ්ඩලය නව සහකාර අධිපතිවරු සිව්දෙනෙකු පත් කරයි

මුදල් මණ්ඩලය විසින් 2021 නොවැම්බර් 17 වන දින පැවති රැස්වීමේ දී කේ. ජී. පී. සිරිකුමාර මහතා, ඩී. කුමාරතුංග මහතා, යූ. එල්. මුතුගල මහත්මිය සහ සී. පී. එස්. බණ්ඩාර මහතා 2021 නොවැම්බර් 17 වන දින සිට සහකාර අධිපති ධූරයට උසස් කරන ලදී.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 ඔක්තෝබර්

2021 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී.

රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් යථාවත් වීම පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 7ක් තුළ ලබාගත් ඉහළම අගය 2021 ඔක්තෝබර් මාසයේදී වාර්තා කරන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 ඔක්තෝබර් මාසයේදී 57.9ක දර්ශක අගයක් දක්වා ඉහළ ගිය අතර, ඒ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් යන උප දර්ශකවල ඉහළ යෑම් හේතු විය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 සැප්තැම්බර්

වෙළඳ භාණ්ඩ හිඟය, 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 525ට සාපේක්ෂව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 495ක් දක්වා පහළ ගියේය. මාසික අපනයන ඉපැයීම් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී අඛණ්ඩව සිව්වන වරටත් එ.ජ. ඩොලර් බිලියන 1.0 ඉක්ම වූ අගයන් වාර්තා කළ අතර, ආනයන වියදම් 2020 වසරේ සැප්තැම්බර් මාසයට බොහෝසෙයින් සමාන මට්ටමක පැවතුණි. 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී සංචාරක පැමිණීම්වල වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනිමින්, පසුගිය මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය. 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් පෙන්නුම් කළේය. චීන සංවර්ධන බැංකුවේ ඒකාබද්ධ ණය පහසුකම යටතේ වන ලැබීම් සහ ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංගලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුමේ ඉතිරි මුදල් ප්‍රමාණය ලැබීමත් සමඟ මෙම මාසය තුළ ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශක්තිමත් විය. මේ අතර, වරායෙන් එතෙක් නිදහස් කර නොගත් අත්‍යාවශ්‍ය ආනයන භාණ්ඩ තොග නිදහස් කරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් ක්‍රියාමාර්ග සහ විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් ලබා දුන් මාර්‌ගෝපදේශ මගින් අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මෙම මාසය තුළ අතිප්‍රමාණය වී ස්ථාවර විය.

යෝජිත සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙල යටතේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරෙනු ඇතැයි යන්න මුළුමනින්ම අසත්‍යයක්

සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙල (Securitised Financing Arrangement-SFA) සම්බන්ධයෙන් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද යෝජනා සඳහා වූ ඉල්ලීම (Request for Proposals-RFP) මගින් බලපත්‍රලාභී බැංකු වලට ලැබීමෙන් පසු විදේශගත ශ්‍රමිකයන්ගේ සියලුම ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කිරීම අරමුණු කර ගෙන ඇති බවට පදනම් විරහිත අනුමානයන් පෞද්ගලික වුවමනාවන් සහිත පාර්ශව විසින් පතුරුවා හරිනු ලැබේ. 

මෙම කටකතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව තරයේ ප්‍රකාශයට පත් කරයි. 

Pages