Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසි යටතේ, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන/ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි (Letters of Credit) හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි (Documents against Acceptance) ලබාදීමේ කොන්දේසි යටතේ, අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100 per cent cash margin deposit requirement) වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 සැප්තැම්බර් මස 08 වන දින පැවති රැස්විමේදී තිරණය කළේය. ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පැනවීමට ගත් තීරණය, විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට සහය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන නිෂ්පාදන කාණ්ඩවල සාරාංශයක් සමඟ 2019, 2020 සහ 2021 වසරේ මේ දක්වා (තාවකාලික) එසේ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයන්ට යටත් වන සෑම කාණ්ඩයකම ආනයන වියදම් පිළිබඳ තොරතුරු පහත වගුවේ දක්වා ඇත.

කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට ලබා දුන් සහන තවදුරටත් දීර්ඝ කෙරේ

කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණ දී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්,එම බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා මින් පෙර (එනම්, 2021.08.31 දින දක්වා) ලබා දී තිබූ ණය සහන 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (බලපත්‍රලාභී බැංකු) වෙත දැනුම් දෙන ලදී. එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද සමස්ත ප්‍රතිලාභයන්ට වඩා නොඅඩු වන සේ, බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ලබා දීමට සලකා බලන මෙන් බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා රජය විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවයි

මුදල් අමාත්‍යාංශයේ (MoF) වෙබ් අඩවියෙහි සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) වෙබ් අඩවියෙහි පළ කර ඇති, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද, 2021 සඳහා වන විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා  සඳහා වන ඉල්ලීම (Request for Proposal (RFP)) පහත දිගු මගින් ලබා ගත හැක.

කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජූලි මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 11.0හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 11.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 3.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 3.5 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 4.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි) වෙන් කිරීම් සහ බංගලාදේශ බැංකුව සමඟ ඇති කරගත් විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වන මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබෙයි

2021 වසරේ අගෝස්තු මාසයේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය වි.ගැ.හි වෙන් කීරීම යටතේ ලැබීමට නියමිත වූ ප්‍රමාණය සහ ශ්‍රී ලංකා මහ බැංකුව හා බංගලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්විපාර්ශවික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වූ මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබුණි.

එ.ජ. ඩොලර් මිලියන 787කට සමාන වි.ගැ.හි වෙන් කිරීමක් ශ්‍රී ලංකාව වෙත ලැබුණු අතර, බංගලාදේශ බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ එ.ජ. ඩොලර් මිලියන 150ක් ලැබුණි.

ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 ජූලි මාසයේ දී ඉහළ යන ලදී

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 6.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 6.8 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තවද, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ දී පැවති සියයට 9.8හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 11.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 2.9හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 3.2 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ජූලි මාසයේ දී සියයට 5.4හි නොවෙනස්ව පැවතුණි.

Pages