දැනට ගනු ලබන ක්‍රියාමාර්ග තුළින් 2021 වසර අවසාන වන විට නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි. කොවිඩ්-19 හි ආර්ථික බලපෑම් හේතුවෙන් ඇති වූ බාධක සහ විදේශීය අංශයේ අහිතකර වර්ධනයන් හේතුවෙන් පැන නැඟුණු අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා ආර්ථිකය 2021 වසර පුරාවට බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කළේය. එසේම, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම් ඇතුළු විදේශීය ණය ආපසු ගෙවීමෙන් ශ්‍රී ලංකාව සිය ණය බැඳීම් සාර්ථකව ඉටු කළේය. පවතින විදේශීය ණය තිරසාර ලෙස කලමනාකරණය කර ගත හැකි වන පරිදි ණය නොවන ප්‍රවාහයන් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නිල සංචිත නැවත ගොඩ නැඟීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සඳහා වසර ආරම්භයේ සිට මහ බැංකුව සහ රජය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටී. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම ප්‍රයත්නයන් වේගවත් කරන ලද්දේ සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වන අතර, එමඟින් කෙටි කාලීනව නිල සංචිත ගොඩ නැඟීම සඳහා අපේක්ෂිත ඉලක්ක දැක්වීය.















