Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 අගෝස්තු මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජූලි මාසයේ පැවති සියයට 6.8හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.7 දක්වා සුළු වශයෙන් පහළ ගියේ ය. 2020 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ දී පැවති සියයට 11.0හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 11.1 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 3.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2021 ජූලි  මාසයේ දී පැවති සියයට 5.4හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 5.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙකු පත් කරයි

2021 සැප්තැම්බර් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතුටින් දැනුම් දෙනු ලැබේ.

සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් මූල්‍යය පිළිබඳ වාණිජ විද්‍යාපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාර සංඛ්‍යානය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාව සහ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත. කරුණාරත්න මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධිසාමාජිකත්වය සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය දරයි.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 අගෝස්තු

2021 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

2021 අගෝස්තු මාසයේදී COVID-19 වසංගතය නැවත හිස එසවීම හේතුවෙන් රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළ යන ලදී.

COVID-19 වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැන වූ සීමා සමඟ සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 අගෝස්තු මාසයේ දී 46.2ක දර්ශක අගයක් දක්වා පහළ ගියේය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස සිය රාජකාරී කටයුතු අරඹයි

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස 2021 සැප්තැම්බර් 15 වන බදාදා  කොළඹ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ඇරඹුවේය. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙම පත් කිරීම සිදු කරන ලදි. මේ අනුව කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපති වශයෙන් ද කටයුතු කරනු ඇත.

2021 සැප්තැම්බර් 15 වන දින නව පදවියේ වැඩ භාර ගැනීමේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදු කළ ප්‍රකාශය

නැවත වරක් මහ බැංකුවේ නායකත්වය දැරීමට හැකි වීම මා ලද භාග්‍යයක් වන අතර, මෙම වගකීම භාර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ මුදල් ඇමතිතුමා මා කෙරෙහි තබා ඇති විශ්වාසය හා පැහැදීම පිළිබඳව නිහතමානීව සතුටු වෙනවා. අපේ රටේ දහස් ගණන් ජනතාවගෙන් මට ලැබුණු සුබ පැතුම් ද මා බෙහෙවින් අගය කරනවා. 

ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ නොහෙලන බවටත්, ආර්ථිකය අඛණ්ඩව ස්ථායීතාව කරා යොමු කරන බවටත් මා ඒ සියලු දෙනාට ම සහතික වනවා.

එසේම, මහ බැංකුවේ සිටින දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයේ සමීප සහයෝගය මෙන්ම, මා නුදුරේදී ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ද මා අපේක්ෂා කරනවා.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 ජූලි

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූලි මාසයේ දී පුළුල් වීමක් වාර්තා කළේය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මාසය තුළ දී භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගිය නමුත්, ආනයන වියදම වඩා වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය 2021 වසරේ ජූලි මාසයේදී අඛණ්ඩව පස්වනවරටත් පුළුල් විය. 2021 වසරේ ජූනි මාසයේ දී නිරීක්ෂණය වූ ප්‍රවණතාවයට අනුව යමින් ජූලි මාසයේ දී ද විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගිය අතර, සංචාරක ඉපැයීම් ද අවම මට්ටමක පැවතුණි. මේ අතර, ණය සේවාකරණ ගෙවීම් සම්බන්ධයෙන් රට විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන වාර්තාව බිඳ නොහෙළමින්, ශ්‍රී ලංකාව විසින් 2021 වසරේ ජූලි මාසයේ දී එ.ජ. ඩොලර් බිලියන 1.0ක වටිනාකමකින් යුතු වසර 10ක කල්පිරීමක් සහිත වූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව පියවන ලදී. 2021 වසරේ ජූලි මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ විදේශීය ආයෝජන සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ අඛණ්ඩව ශුද්ධ ගෙවීම් වාර්තා කළේය. අන්තර් බැංකු වෙළඳපොළේ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය 2021 වසරේ ජූලි මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණි.

Pages