Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

"ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2021" ප්‍රකාශනය නිකුත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2021" වාර්ෂික ප්‍රකාශනයෙහි වෙබ් පිටපත මහ බැංකු වෙබ් අඩවිය ඔස්සේ මහජන පරිශීලනය සඳහා නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 44 වන වෙළුමයි.

ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වය, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය, සහ, මුදල්, බැංකු කටයුතු සහ මූල්‍ය වශයෙන් ශීර්ෂ 14 ක් යටතේ දත්ත මෙම ප්‍රකාශනයෙහි ඇතුළත් වේ.

පුළුල් පරාසයක් ආවරණය කෙරෙන නවතම සමාජ ආර්ථික දත්ත මෙහි සාරාංශ කර ඇති අතර, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ශාස්ත්‍රලාභීන්ට, වෘත්තිකයන්ට හා සිසුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද මෙම ප්‍රකාශනය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.7 දක්වා පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.0හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.7 දක්වා පහළ ගියේ ය. 2020 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 11.5හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 3.5හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 3.8 දක්වා ඉහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 4.3හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළ ගියේ ය.

සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම ප්‍රකාශයට පත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම’ 2021 ඔක්තෝබර් මස 01වන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ලැබේ. මෙම ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේ දී පැවැත්වෙන අතර එම කටයුතු පෙ.ව. 10.00ට ආරම්භ කෙරේ.

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අරමුණින් සහභාගි වීම ආරාධිතයින්ට පමණක් සීමා කර ඇත. කෙසේ වෙතත්, අධිපතිතුමාගේ ඉදිරිපත් කිරීම යූටියුබ් (YouTube) සහ ෆේස්බුක් (Facebook) ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථාව සලසා ඇත.

විදේශීය අංශයේ ස්ථායීතාව සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සඳහා අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීමේ හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ වැදගත්කම

වසංගතයෙන් බලපෑමට ලක් වූ 2020 වසරට සාපේක්ෂ ව, 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳ අපනයන අංශය සැලකිය යුතු වැඩිදියුණු වීමක් පෙන්නුම් කර තිබේ. නවතම රේගු දත්තවලට අනුව, 2020 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 837ක් වූ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍ය අගයට සාපේක්ෂ ව 2021 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වූ මාස අට තුළ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍යය එක්සත් ජනපද ඩොලර් මිලියන 985ක් වූ අතර, 2021 වසරේ ජූනි - අගෝස්තු කාලය තුළ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍යය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,064ක් විය. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල විශාලතම විදේශ විනිමය උපයන්නා (විවිධ නිෂ්පාදනවලින් සමන්විත) වෙළෙඳ භාණ්ඩ අපනයන අංශය වන බැවින් මෙය අගය කළ හැකි ප්‍රවණතාවකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා අතර හමුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් මහතා අතර හමුවක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අද දින 2021.09.24 පැවැත්වුණි. එහි දී ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් උපයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා රජය විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවන කාලය දීර්ඝ කරයි

ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද, 2021 සඳහා වන විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා සඳහා වන ඉල්ලීම (Request for Proposal (RFP)) ඉදිරිපත් කිරීමේ අවසන් දිනය මුදල් අමාත්‍යංශය විසින් දීර්ඝ කර තිබේ. මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියෙහි සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි පළ කර ඇති පහත් දිගු මගින් එය දැනුම් දී ඇත.

Pages