Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනියි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ඔක්තෝබර් මස 13 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරු ව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. ඉදිරි කාලය තුළ දී ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟා වීම සඳහා සහාය වන අතර ම සුදුසු ක්‍රියාමාර්ග මගින් මැදි කාලීන ව උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම සඳහා වන සිය කැපවීම මුදල් මණ්ඩලය නැවත අවධාරණය කරන ලදී.

කොන්දේසි පදනමින් සීමිත අරමුණක් සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය, “බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට” අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව අධ්‍යනය කිරීමේ අරමුණින්, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාරව, 2021 ඔක්තෝබර් 13 දින සිට බල පැවැත්වෙන පරිදි මාස 06ක සීමිත කාල සීමාවක් සඳහා, එම ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නියෝගයක් නිකුත් කරන ලදී.

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ කටයුතු තවදුරටත් කළමනාකරණය කිරීමට සහ ඉහත සඳහන් ක්‍රියාවලියට අදාල කටයුතු ආරම්භ කිරීමට සහ පහසුකම් සැලසීමට මුදල් මණ්ඩලය මඟින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලය (කළමනාකරණ මණ්ඩලය) වෙත බලය පවරා ඇති අතර ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ අධ්‍යක්ෂවරුන් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ/හෝ කළමනාකරණ මණ්ඩලය විසින් බලය පවරනු ලබන කාර්යයන් පමණක් ඉටු කරනු ඇත.

2022 වර්ෂයේ කල් පිරෙන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වට්ටම් සහිත ව ලන්සු තැබුණ ද, අවශ්‍ය ප්‍රමාණ මිල දී ගැනීමට නො හැකි වීම

2021.10.01 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද “සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම” ට අනුව ඉදිරි වසර තුන අවසන් වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක පමණ ප්‍රමාණයකට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ක්‍රමික ව අඩු කළ යුතු වේ. මේ අතර, ඒ් හා සමගාමී ව, එළැඹෙන 2022 ජනවාරි මාසය තුළ සහ ජූලි මාසය තුළ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර 2021 සැප්තැම්බර් මාසය තුළ වට්ටම් සහිත මිල ගණන්වලට හුවමාරු වීම හේතුවෙන් එම ජාත්‍යන්තර බැඳුම්කරයන් ආපසු මිලදී ගැනීමේ හැකියාව, අන්තර්ජාතික බැංකු සහ ප්‍රධාන ආයෝජන සැලසුම්කරුවන් ගණනාවක් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමසන්නට යෙදිණි.

විදේශ ප්‍රේෂණ පහසු කිරීම සඳහා "SL-Remit" ජංගම යෙදුම ක්‍රියාත්මක කිරීමට පියවර

විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන් ම අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගත් ශ්‍රී ලංකා මහ බැංකුව, නව ප්‍රේෂණ ක්‍රමවේද අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාවට අඩු පිරිවැයක් සහිත ව විදේශ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කරනු ලැබී ය.

මෙම ක්‍රියාකාරී කමිටුව ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හොංකොං සහ ෂැංහයි බැංකුව, කාගිල්ස් බැංකුව, ඩයලොග් ආසියාටා, මොබිටෙල් (පුද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත විය.

ශ්‍රී ලංකා මහ බැංකුව - ආසියානු සංවර්ධන බැංකු ආයතනය - ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සම-සත්කාරකත්වය දරයි

ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2021 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දින පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව දෙවන වසර සඳහාත් සම-සත්කාරකත්වය දැරීය. සාර්ව ආර්ථික ස්ථායීතාව සඳහා මතුවෙමින් පවතින ගැටලු (Emerging Issues for Macroeconomic Stability) මෙම වසරේ තේමාව විය.

‘A Step by Step Guide to Doing Business in Sri Lanka’ ප්‍රකාශනය

"A Step by Step Guide to Doing Business in Sri Lanka" ප්‍රකාශනයේ නවවන සංස්කරණය (ඉංග්‍රීසි), ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජන පරිශීලනය සඳහා නිකුත් කර ඇත. ව්‍යාපාරික ප්‍රජාවට සහ විදේශීය ආයෝජකයින්ට ප්‍රයෝජනවත් වන තොරතුරු වලින් සමන්විත මූලාශ්‍රයක් වන මෙය පරිහරණය කිරීම මඟින් එවැනි තොරතුරු ලබාගැනිම සඳහා ගතවන කාලය සහ පිරිවැය ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම සහ අවසන් කිරීම සම්බන්ධයෙන් දැනට පවත්නා රෙගුලාසි පිළිබඳ තොරතුරු මෙන්ම ඉදිරියේදි ව්‍යාපාරයක් ඇරඹීමට සැලසුම් කරන ව්‍යවසායකයින් සඳහා වැදගත් වන අනෙකුත් තොරතුරු ද මෙහි ඇතුලත් කොට තිබේ.

Pages