Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

බැංකු ක්ෂේත්‍රයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී ක්‍රියාමාර්ග

පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් සහ එමගින් බැංකු ක්ෂේත්‍රයට ඇති කෙරෙන බලපෑම සැලකිල්ලට ගෙන, බැංකු ක්ෂේත්‍රයේ සවිමත්භාවය පවත්වා ගනිමින් ආර්ථිකය වෙත ණය ප්‍රවාහ සැපයීමට සහ ඵලදායී මූල්‍ය අතරමැදිකරණය සඳහා පහසුකම් සැලසීම‍ට බැංකු අංශයට සහය වීම සඳහා පහත සඳහන් නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 21.5හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 33.8ක් දක්වා ඉහළ ගියේය. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 29.5හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 45.1 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 14.5හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 23.9 දක්වා ඉහළ ගියේය.

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 04 - 2022 මැයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මැයි මස 18 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. නුදුරු කාලීනව උද්ධමනය ඉහළ අගයක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇතත්, 2022 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම සමස්ත ඉල්ලුම් පීඩන ඇති වීම වැළැක්වීම සඳහා ගනු ලැබූ අනෙකුත් ක්‍රියාමාර්ග මගින් ඉදිරි කාලයේදී තවදුරටත් උද්ධමන අපේක්ෂා ඇති වීම අවම කිරීම සහ උද්ධමන පීඩන ලිහිල් කිරීම අපේක්ෂා කෙරෙන බව මුදල් මණ්ඩලයේ අදහස විය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 අප්‍රේල්

සෑම වසරකම අප්‍රේල් මාසයේ  පවතින සාමාන්‍ය පහත වැටීම මෙන්ම වෙනත් බාධාවන් හේතුවෙන් ඇතිවූ පසුබෑමද පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකර‍ැවන්ගේ දර්ශකය 2022 අප්‍රේල් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පහත වැටුණි. ඒ අනුව නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 අප්‍රේල් මාසයේ දී 36.4ක අගයක් වාර්තා කරමින් පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 21.4කින් පහළ යන ලදී. මේ සඳහා, සෑම වසරකම මෙන් මෙම වසරේදී මාර්තු මාසයේ දී ඉහළ දර්ශකාංක වාර්තා කරන නිෂ්පාදන, නව ඇණවුම්, තොග මිලදී ගැනුම් සහ සේවා නියුක්තිය යන උප දර්ශක අප්‍රේල් මාසයේ සැලකිය යුතු ලෙස පහළ යාම හේතු විය. 

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 මාර්තු

2022 වසරේ මාර්තු මාසයේ දී අපනයන ඉපැයීම්, වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව සුළු අඩු වීමක් වාර්තා කළ ද, අඛණ්ඩව දසවන මාසයටත් එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවා ගියේය. මේ අතර, ආනයන වියදම්, 2021 වසරේ පෙබරවාරි මාසයෙන් පසු පළමු වරට, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමක් වාර්තා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, වෙළඳ හිඟය, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව, 2022 වසරේ මාර්තු මාසයේ දී පහළ ගියේය. සංචාරක පැමිණීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, පෙර මාසයට සාපේක්ෂව, 2022 වසරේ මාර්තු මාසයේ දී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. 2022 වසරේ මාර්තු මාසය තුළ දී, කොළඹ කොටස් වෙළඳපොළ වෙත ලැබුණු විදේශ ආයෝජනයන්හි ශුද්ධ ලැබීමක් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ අන්තර් දින විනිමය අනුපාතිකයෙහි  යම් ඉහළ විචලනයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මස 13වැනි දින සිට අන්තර් බැංකු බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකයෙහි මධ්‍යය අනුපාතිකයක්  සහ විචලන සීමාව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 පෙබරවාරි

අඛණ්ඩව නවවැනි මාසයටත් එ.ජ. ඩොලර් බිලියන 1.0ක් ඉක්මවූ අපනයන ඉපැයීම් සමඟ 2022 වසරේ පෙබරවාරි මාසයේ දී අපනයන ඉපැයීම්වල වර්ධනය දිගටම පැවතුණි. මේ අතර, 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ආනයන වියදම් පෙර මාසයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු වුවද, පසුගිය වසරේ පෙබරවාරි මාසයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වෙළඳ හිඟය පුළුල් විය. සංචාරක පැමිණීම් පෙර වසරේ අනුරූප  මාසයට සාපේක්ෂව 2022 වසරේ පෙබරවාරි මාසයේ දී කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළේය. 2022 වසරේ පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ තවදුරටත් මන්දගාමී විය. මාසය තුළ දී, කොළඹ කොටස් වෙළඳපොළ වෙත ලැබුණු විදේශ ආයෝජනයන්හි ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. 2022 වසරේ පෙබරවාරි මාසය තුළ අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය එ.ජ. ඩොලරයට රුපියල් 202ක් පමණ විය.

Pages